
අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (මාර්තු 29) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. නවීන තාක්ෂණයෙන් හා උසස් පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව පැයකට ලුණු මෙට්‍රික් ටොන් 5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.
මෙම නව කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර මේස ලුණු "රජ ලුණු" යන වෙළඳ නාමය යටතේ කිලෝග්‍රෑම් 1 සහ ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට්වලින් ඉතා සාධාරණ මිලකට ඉදිරියේදී පාරිභෝගිකයන්ට ලබාගත හැකි වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 450ක් පමණ උත්පාදනය කරනු ඇතැයි වාර්තා වේ.
අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර, එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වෙළඳපොළවල්හිද ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක් බවට පත්ව තිබේ. 2001 වර්ෂයේදී අලිමංකඩ ලුණු ලේවාය ලංකා ලුණු සමාගම යටතට පත් වුවද, දීර්ඝ කාලයක් පැවති යුද ගැටුම් හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අඩාල වී තිබිණි. කෙසේ වෙතත්, වත්මන් රජයේ මැදිහත්වීම යටතේ මෙම කර්මාන්තශාලාව නැවත පණගන්වා ඇති අතර, නවීන මේස ලුණු නිෂ්පාදනාගාරයක් දක්වා දියුණු කිරීමට හැකියාව ලැබී තිබේ.
2024 වසර තුළදී මෙට්‍රික් ටොන් 13,800ක ලුණු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ මෙම ලුණු ලේවාය, 2025 වසර තුළදී මෙට්‍රික් ටොන් 20,000 දක්වා එම ප්‍රමාණය ඉහළ නැංවීමේ ඉලක්කයක් සහිතව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙරට ජනතාවගේ ලුණු අවශ්‍යතාවය සපුරාලීම සඳහා හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අලිමංකඩ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පිහිටි ලුණු ලේවායන්හි නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.
අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, "අපේ අරමුණ වන්නේ ජනතාවගේ අතට නිෂ්පාදනයේ හා ආදායමේ අයිතිය ලබා දීමෙන් ජනතාවගේ දුප්පත්කම නැති කිරීමයි. තවද, රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කර, අතිරික්ත ලුණු අපනයනය කිරීම මගින් රටට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමද අපේ බලාපොරොත්තුවයි. තව අවුරුදු දෙක තුනක් ඇතුළත මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා," යැයි පැවසීය.
එමෙන්ම, "අලිමංකඩ ලුණු ලේවායේ වත්මන් නිෂ්පාදන ධාරිතාව තවදුරටත් වැඩි කිරීම සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. මේ අසලම පිහිටි කුරින්චතිව් ලුණු ලේවාය, යුද්ධ සමයේදී අත්හැර දමා තිබූ අතර, එම ලේවායේ ක්‍රියාකාරකම් ඉක්මනින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද අපි ඉල්ලා තිබෙනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රජය හැටියට අපි රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කරමින් උපරිම ලාභය ලබා ගැනීමට නොවේ. ජනතාවට අවශ්‍ය සහන ලබා දීම අපේ ප්‍රධාන අරමුණයි. ලුණු සමාගමෙන් මෙන්ම අනෙකුත් රාජ්‍ය ව්‍යාපාරවලින් ද අප අපේක්ෂා කරන්නේ රජයට සාධාරණ බදු ගෙවීම, ජනතාවට රැකියා අවස්ථා සැපයීම, ජනතාවට අඩු මිලට භාණ්ඩ සැපයීම, සහ පෞද්ගලික අංශයෙන් ජනතාවට අසාධාරණයක් සිදුවන අවස්ථාවල එයට එරෙහිව සාධාරණ මිලක් ස්ථාපිත කිරීම වැනි කරුණුයි," යැයි පැවසීය.
අවසාන වශයෙන්, "ඉදිරි කාලයේදී උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර පරන්තන් රසායනික කලාපය, මාන්කුලම් සහ කන්කසන්තුරය අපනයන කලාප ආරම්භ කිරීම, සහ කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ද ඇතුළත් වෙනවා," යැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval