President issues new gazette to facilitate release of imported vehicles

ජපානයෙන් ආනයනය කර රේගුවේ සිර වී තිබෙන වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් ඊයේ (19) නිකුත් කරනු ලැබීය.



මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර, වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධක ඉවත් වන බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ රේගුවේ සිර වී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට්පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත්, එම ගැසට්පත්‍රය බොහෝ දුරට අද (20) වන විට නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

බලාපොරොත්තු වන ආකාරයට එලෙස ගැසට්පත්‍රය නිකුත් වුවහොත් රේගුවේ සිර වී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අරුක්ගොඩ මහතා පැවැසුවේය.

රේගුවේ සිර වී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදාහැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය.


ගැසට්පත්‍රය නිකුත් වීමත් සමඟ ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත්, බොහෝ දුරට අද (20) දිනයේදී මෙම ගැටලුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.

2013 අංක 1804/17 දරන ගැසටිපත්‍රයට අනුව මෙරටට ජපානයෙන් වාහනයක් ආනයනය කරන විට එරටදී අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට බලය ඇත්තේ ජායි, එස්පෝර්ට් වෙහිකල් ඉස්පෙක්ෂන් සෙන්ටර් සහ යූ.එස්.එස්. යන සමාගම්වලට පමණි. එම ගැසට්පත්‍රයට අනුව මෙරටට වාහන ආනයනය කිරීමේදී බියුරෝ වෙරිටාස් කාර්යාංශයට අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට බලය ඇතත්, ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට හැකියාවක් නොමැත. එය 2013 වසරේ ගැසට්පත්‍රය මුද්‍රණය කරන අවස්ථාවේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් ලෙස ඇතැම් වාහන ආනයනකරුවෝ හඳුන්වති.

වාහන ආනයනය කිරීමේදී ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන් සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ප්‍රකාශ කළේ 2013 අංක 1804/17 දරන ගැසටිපත්‍රය මුද්‍රණය කිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වූ බවත්, එම තාක්ෂණික දෝෂය නිවැරැදි කරමින් අද (20) දිනය වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසටිපත්‍රයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

සියලුම අවශ්‍යතා සපුරාලමින් එම ගැසටිපත්‍රය නිකුත් වුවහොත් අද (20) සිට සිර වී තිබෙන වාහන රේගුවෙන් නිදහස් කරගැනීමට ආනයතකරුවන්ට හැකියාව ලැඛෙනු ඇති බව ද කුලතුංග මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාව වසර 5කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ. නොකාවේ වාහන 197ක් රේගුවේ සිර වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය විය. එන්.වයි.කේ. සමාගම මෙරටට වාහන ආනයනය කිරීමට පෙර ජපානයේදී එම වාහන සඳහා බියුරෝ වෙරිටාස් කාර්යාංශයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ අතර, 2013 අංක 1804/17 දරන ගැසට්පත්‍රයට අනුව ජපානයෙන් මෙරටට වාහන ආනයනය කිරීමේදී අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට බියුරෝ වෙරිටාස් කාර්යාංශයට හැකියාවක් නොමැති වීම එම වාහන රේගුවේ සිර වීමට හේතුව විය.

ඊට පසුව ජපානයෙන් මෙරටට ආනයනය කළ වාහන සඳහා ද ජපානයේදී බියුරෝ වෙරිටාස් කාර්යාංශයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබීම හේතුවෙන් රේගුවේ සිර වී තිබෙන වාහන ප්‍රමාණය 400 දක්වා ඉහළ ගියේය.


මෙරට වාහන ආනයන සීමා වසර 5කට පසුව ලිහිල් කිරීමත් සමඟ ඇති වූ වාහන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තතුදත් ආරංචිමාර්ග ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේදී ජපානයෙන් ආනයනය කර ඇති වාහන විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ වාහන බොහොමයක් සඳහා ද එම වාහන ආනයනය කළ ආනයනකරුවන් ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන ඇත්තේ බියුරෝ වෙරිටාස් කාර්යාංශයෙන් බවත්ය.


ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේ, ජපාන වාහන රැගත් නෞකා දෙකක් වාහන ආනයන සීමාව ඉවත් කිරීමෙන් පසුව මෙරටට පැමිණ ඇතත්, ඒ කිසිදු වාහනයක් රේගුවෙන් නිදහස් කරගැනීමට වාහන ආනයනකරුවන්ට හැකියාවක් ලැබී නොමැති බවයි. එයට හේතුව එම වාහන සඳහා ජපානයේදී අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබුණේ බියුරෝ වෙරිටාස් කාර්යාංශයෙන් වීම බව ඔහු ප්‍රකාශ කළේය.

පළමු වාහන නැව පැමිණීමෙන් අනතුරුව වාහන ආනයන සීමා රෙගුලාසිවලට අනුව ආනයනය කළ 2022 වාහනවල නිෂ්පාදිත දිනය නිවැරැදිව ගත යුතු බවත්, ඒ සඳහා වාහන මුදාහැරීම නවතා සිදු කළ පරීක්ෂණයේදී බියුරෝ වෙරිටාස් කාර්යාංශයට මෙරටට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා අපනයන පරීක්ෂණ සහතික නිකුත් කළ නොහැකි බව අනාවරණය වූ බවත් ඉන්දික සම්පත් මහතා පැවැසුවේය.

පළමු නැව පැමිණ දවස් 20කට වඩා වැඩි බව ද ඔහු ප්‍රකාශ කළේය. සිර වී තිබෙන වාහන, වෙළෙඳපොළට පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත්, වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත්, මෙරෙන්චිගේ මහතා පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මනින් නව ගැසට්පත්‍රයක් නිකුත් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.



1969 අංක 1 දරණ ආනයන හා අපනයන (පාලන) පනතෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 242807 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) නිකුත් කරනු ලැබීය. එමගින් වාහන ආනයනය කිරීමේදී ඇතිව තිබූ ගැටලු කීපයකට විසඳුම් ලබා දෙමින්, 1804/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් පවා තිබූ රෙගුලාසි කීපයකට සංශෝධන එකතු කර තිබිණ.

සංශෝධිත රෙගුලාසි ඊයේ (19) සිට බලාත්මක වන බවද එම ගැසට් පත්‍රයේ සඳහන්ව තිබිණි. රේගුවේ සිරවී තිබෙන වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට බාධාවක්ව තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ජපානයේ සිට මෙරටට ගෙන්වන වාහන සඳහා අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට බලයක් නොමැති වීමේ ගැටලුවටද තව ගැසට් පත්‍රයෙන් විසඳුම් දී තිබිණි.

නව ගැසට් පත්‍රය මගින් බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ලෝකයේ සියලුම රටවල් වලින් මෙරටට ආනයනය කරන වාහන සඳහා අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමට හැකියාව ලැබෙයි.
අදාළ නිවේදනය පහත පරිදිය.

ගැසට් නිවේදනය අංක 2428/09
දිනය: මාර්තු 19, 2025

 ආනයන හා අපනයන පාලන පනත, අංක 1/1969

අංක 1/1969 දරණ ආනයන හා අපනයන (පාලන) පනතෙහි 20 වන වගන්තිය සහ 4(1) උප වගන්තිය සමඟ කියවිය යුතු, අංක 48/1985 සහ අංක 28/1987 යන පනත් මගින් සංශෝධිත අංක 1/1969 දරණ ආනයන හා අපනයන (පාලන) පනතෙහි 14 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක වන මම පහත රෙගුලාසි ප්‍රකාශයට පත් කරමි.

අනුර කුමාර දිසානායක  
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය  
කොළඹ 01  
මාර්තු 19, 2025

රෙගුලාසි

1. මෙම රෙගුලාසි "ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අංක 03/2025" ලෙස හැඳින්විය හැක.

2. 2013 අප්‍රේල් 03 දිනැති ගැසට් අති විශේෂ අංක 1804/17 හි ප්‍රකාශිත අංක 02/2013 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. 2013 අංක 02 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි හි 5, 7 සහ 8.1 (iv) රෙගුලාසි මෙසේ ප්‍රතිස්ථාපනය කර පහත පරිදි කියවිය යුතුය:

   "5. ණය ලිපි විවෘත කළ දේශීය බැංකුවේ මුද්‍රාව සහ අපනයනය කරන රටේ අදාළ බැංකුවේ මුද්‍රාව, ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් අවලංගු කළ පිටපත, එහි ඉංග්‍රීසි පරිවර්තනය සහ 3(අ) රෙගුලාසියේ සඳහන් ලේඛන හෝ ඒවායේ පිටපත් සහ 3(ආ) මත තැබිය යුතුය.

   එසේ වුවද, අපනයන පරීක්ෂණ සහතිකය (පෙර-පරීක්ෂණ සහතිකය) සහ 3(අ) සහ 3(ආ) රෙගුලාසි වල සඳහන් පරිදි උපාංග ලැයිස්තුවක් ඇතුළු වාහනයේ සම්පූර්ණ විස්තරයක් සහිත තත්ත්ව වාර්තාව ලැබීමෙන් පසු, අපනයන රටේ අදාළ බැංකුවේ මුද්‍රාව නොතබා, බලපත්‍රලාභී බැංකු විසින් පහත කරුණු වලට යටත්ව එම ලේඛන නිදහස් කළ යුතුය:

   i. අදාළ බැංකුව විසින් ඍජුව යවන ලේඛන, සහ

   ii. වාහනයේ සම්පූර්ණ විස්තරයක් සහ උපාංග ලැයිස්තුවක් ඇතුළත් අපනයන පරීක්ෂණ සහතිකයේ සහ තත්ත්ව වාර්තාවේ සත්‍යතාව, අදාළ පරීක්ෂණ ආයතනය හරහා මාර්ගගතව සත්‍යාපනය කර, "මෙම ලේඛනයේ සත්‍යතාව සත්‍යාපනය කර ඇත" යන්න එම ලේඛන මත සටහන් කර තිබීම.

   "7. සත්‍යතාව සත්‍යාපනය

   7.1 රෙගුලාසි 3(අ) සහ 3(ආ) හි සඳහන් ලේඛන, ශ්‍රී ලංකා රේගුව විසින් මෝටර් වාහන නිශ්කාශනය සඳහා අවශ්‍ය ලේඛනවල කොටසක් විය යුතුය.

   7.2 ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්, ඉහත 5 වන රෙගුලාසියට අනුව බලපත්‍රලාභී බැංකුව විසින් සටහන් තබන ලද ලේඛනවල සත්‍යතාව, අදාළ මෝටර් වාහන රේගු නිශ්කාශනයට පෙර මාර්ගගත සත්‍යාපනය හරහා තහවුරු කළ යුතුය."

   "8.1 (iv) සියලුම රටවලින් ආනයනය කිරීම සඳහා - බ්‍යුරෝ වෙරිටාස් (විද්‍යුත් තැපැල් ලිපිනය: ild.sgp@sg.bureauveritas.com)"

4. මෙම රෙගුලාසි වල අරමුණු ඉටු කර ගැනීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්, බලපත්‍රලාභී බැංකු හෝ වෙනත් අදාළ අධිකාරීන් වෙත "ක්‍රියාත්මක කිරීමේ උපදෙස්" නිකුත් කළ යුතුය.

5. මෙම රෙගුලාසි 2025 මාර්තු 19 දින සිට ක්‍රියාත්මක වේ.

6. මෙම රෙගුලාසි, 2025 ජනවාරි 31 දිනැති ගැසට් අති විශේෂ අංක 2421/44 හි ප්‍රකාශිත 2025 අංක 02 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි යටතේ, අපනයන පරීක්ෂණ සහතිකය නිකුත් කළ දිනය නොසලකා, මෝටර් වාහන ආනයනය කිරීම සඳහාද අදාළ වේ.