wildfires-in-south-korea-destroy-historic-gonza-buddhist-temple-with-artifacts

දකුණු කොරියාවේ අග්නිදිග ප්‍රදේශයේ ඇතිවූ දරුණු ලැව් ගිනි හේතුවෙන් එරට සංස්කෘතික උරුමයන්ට සහ පරිසරයට දැඩි හානි සිදුවී ඇති අතර, එය එරට ඉතිහාසයේ වාර්තාගත වූ දරුණුතම ලැව් ගිනි ව්‍යසනය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ක්‍රිස්තු වර්ෂ 681 දී ඉදිකරන ලද, වසර 1,300ක ඉතිහාසයක් සහිත උයිසොං ප්‍රාන්තයේ පිහිටි ගෞන්සා බෞද්ධ පන්සල,
එහි පුරාවස්තු ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයන් දැරුවද ගිනි ගැනීමෙන් විනාශ වී ඇත.

කෙසේ වෙතත්, 9 වන සියවසට අයත් ගල් බුද්ධ ප්‍රතිමාව ගින්න පැතිරීමට පෙර ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට හැකිවී තිබේ. මෙම පන්සල ක්‍රිස්තු වර්ෂ 618 දී ඉදිකරන ලද බවද වාර්තා වී ඇති අතර, එය එම ප්‍රාන්තයේ විශාලතම පන්සල්වලින් එකක් ලෙස සැලකේ.

මීට අමතරව, ඓතිහාසික උන්රම්සා පන්සලද ගින්නට හසුවී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශන මගින් තහවුරු වේ.


ලැව් ගිනි හේතුවෙන් හාහෝ ගම්මානය සහ බියොංසාන් සෙවොන් වැනි තවත් ඓතිහාසික ස්ථාන රැසක් අනතුරේ පවතින අතර, මේ හේතුවෙන් හදිසි ඉවත් කිරීම් සිදු කර ඇත. මෙම ලැව් ගින්න පැතිර යන ප්‍රදේශ "විශේෂ ආපදා කලාප" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.

මෙම ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 14,694ක් (අක්කර 36,310ක්) පමණ ප්‍රදේශයක් දැනටමත් විනාශ වී ඇති අතර, මෙය දකුණු කොරියාවේ ඇතිවූ විශාලතම ලැව් ගිනි අතරින් එකක් ලෙස සැලකේ. දැඩි සුළං සහ වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු අඩාල වී ඇත.
මෙම ලැව් ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, සිය ගණනක් දෙනා අවතැන් වී ඇත. තවද, ගිනි විවිධ ප්‍රාන්ත වෙත පැතිරීම හේතුවෙන් දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇත.

ගිනි මර්දන ප්‍රයත්නයන් ලෙස රජය හෙලිකොප්ටර් යානා සහ පිරිස් යොදවා ඇතත්, අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගින්න පාලනය කිරීම තවමත් අභියෝගාත්මක බව පැවසේ.