
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) - 2024 (2025) විභාගයේ අක්‍රමිකතා වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ යටතේ ශාලාධිපතිවරු හා අතිරේක ශාලාධිපතිවරු හැරුණු කොට අනෙකුත් නිලධාරීන්ට විභාග මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.මින් ඉහත විභාග නිලධාරීන් කළ අකටයුතුකම් නිසා මෙම පියවර ගෙන ඇත.
විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16 වැනිදා) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කොමසාරිස් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේය. විභාග අක්‍රමිකතා සිදු කරන නිලධාරීන්ට එරෙහිව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධිවිධාන අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
විභාගය විධිමත්ව හා අක්‍රමිකතාවලින් තොරව පැවැත්වීම සඳහා ප්‍රාදේශීය, කලාප, පළාත් හා ජාතික මට්ටමින් නිලධාරීන් 35,000ක් යොදවා ඇතැයි ජයසුන්දර මහතා පැවසීය. පසුගිය විභාගවලදී කාර්ය මණ්ඩලය විසින් සිදු කළ ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි තීරණ ගෙන ඇති බවත්, එහිදී ඇතැම් ගුරුවරුන් වැඩ තහනමට ලක් කර ඇති අතර තවත් සමහරුන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
"අපි විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉතා දැඩි ස්ථාවරයක ඉන්නවා. පසුගිය විභාගවලදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ඒකට උදාහරණයක්. ඒ නිසා මේ විභාගයේදී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබන බව පැහැදිලිව කියන්න කැමතියි," යැයි කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
විභාග අපේක්ෂකයන්ට තහනම් කර ඇති උපකරණ ලැයිස්තුව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා විස්තර කළේය. ඒ අනුව, ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු, සන්නිවේදන විද්‍යුත් උපකරණ, සටහන් හා මකන දියර යන දෑ විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
"මෙවැනි තහනම් කරන ලද උපකරණයක් අපේක්ෂකයකු සතුව තිබෙන බව අනාවරණය වුවහොත්, ඔහු හෝ ඇය ඉදිරි වසර පහක කාලයක් සඳහා විභාගයට පෙනී සිටීම තහනම් කරනවා. අමතක වීමෙන් හෝ නොදැනුවත්කමින් මෙවැනි උපකරණයක් රැගෙන ආවත් එය විභාග වරදක් ලෙස සලකනවා," යැයි ජයසුන්දර මහතා අවධාරණය කළේය.
විභාග අපේක්ෂකයන්ට විභාග ශාලාවට රැගෙන යා හැක්කේ අස්සන සහතික කළ විභාග ප්‍රවේශ පත්‍රය, වලංගු අනන්‍යතා පත්‍රයක් (ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය), පෑන්, පැන්සල් හා ජල බෝතලයක් පමණි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) - 2024 (2025) විභාගය අද (17 වැනිදා) සිට ලබන මස 26 වැනිදා දක්වා පැවැත්වෙන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මෙවර විභාගයට පාසල් අයදුම්කරුවන් 398,182ක් හා පෞද්ගලික අපේක්ෂකයන් 75,965ක් ඇතුළුව සමස්ත අපේක්ෂකයන් 474,147ක් අයදුම් කර තිබේ.
"විභාගයට පෙර දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විභාග නීති කඩකිරීමේ සිද්ධි වාර්තා වුණා. අපි මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව ඉන්නවා," යැයි ඔහු පැවසීය.
උතුරේ ඩෙල්ෆ්, නයනතිව් ඇතුළු දූපත් ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 3,663ක් ස්ථාපනය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පැවසීය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ චෙන්නායි නෆීල් යන ස්ථානවල විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, රැඳවියන් සහ පුනරුත්ථාපනය වන අපේක්ෂකයන් සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය සහ වටරැක සුනීත විද්‍යාලය යන ස්ථානවල විභාග මධ්‍යස්ථාන දෙකක් ද, මහරගම අපේක්ෂා රෝහලේ තවත් විභාග මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.
විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා සියලු පූර්ව සූදානම් සම්පූර්ණ කර ඇති බවත්, අවශ්‍ය සියලු පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා අවසාන වශයෙන් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval