it-didnt-even-take-a-minute-to-put-down-the-phone-lightning-hit-the-son-who-just-had-finished-school

"පුතේ අකුණු ගහනවා. දුරකතනය පැත්තකින් තියන්න කියලා කිව්වා. නෑ, අප්පච්චි මොකවත් වෙන්නේ නෑ කියලා මිනිත්තුවක් ගියේ නෑ. පුතාට අකුණක් වැදුණා" යැයි අකුණක් වැදී මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන රන්බංඩි දේවයලාගේ ධම්මික කුමාර (40) නමැත්තා සාක්ෂි දෙමින් ඊයේ (26) පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, රන්වල - කහගල්ල පාර ගෝනමඩහේන ලිපිනයේ පදිංචිව සිටි කෑගල්ල පානකාව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රන්බංඩි දේවයලාගේ දර්ශන ප්‍රමෝධ්‍ය කුමාර නමැති පාසල් සිසුවාය.

පාසල් ශිෂ්‍යයා පෙරේදා (25) සවස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට පැමිණ දුරකතනය චාජ් කිරීමට විදුලියට සම්බන්ධ කර ඇමතුමක රැඳී සිටියදී මේ විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබුණි. මියගිය පාසල් ශිෂ්‍යයාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (26) දහවල් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී සිදු කෙරිණි.


එහිදී වැඩිදුරටත් පාසල් සිසුවාගේ පියා වන රන්බංඩි දේවයලාගේ ධම්මික කුමාර යන අය මෙසේ පැවසීය. "මම විවාහකයි. බිරිය ගොඩිගමුවලාගේ නිමාලි පුෂ්පකුමාරි. අපි දෙන්නාට පිරිමි දරුවන්ම තුන්දෙනයි. මියගියේ මගේ ලොකු පුතා. එයාගේ වයස අවුරුදු 16යි. ලොකු පුතා කෑගල්ල පානකාව මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. මම කුලී වැඩ කරන්නේ. බිරිය පොඩි දරුවන් දෙදෙනා අරගෙන එයාගේ වදාකඩ පොතුහැර නිවෙසට ගිහින් සිටියා.

පෙරේදා (25) පුතා විභාගයට ගිහින් දහවල් 1.00ට විතර ගෙදර ආවා. පසුව පුතා කෑම කාලා අල්ලපු කාමරයේ බිම දාලා තිබුණු මෙට්ටයට වෙලා දුරකතනය පාවිච්චි කරමින් සිටියා. පුතා හොඳටම දුරකතනයට හුරු වෙලයි හිටියේ. යහළුවන් සමඟ කණ්ඩායම් හැදිලා පුතා දුරකතනයේ නිතර ඉන්නවා.

මම පුතාට කිව්වා හොඳටම වහිනවා. අකුණු ගහනවා දුරකථනය පැත්තකින් තියන්න කියලා, නෑ. අප්පච්චි එහෙම වෙන්නේ නෑ කියා විනාඩියක් ගියේ නෑ. මහා ශබ්දයක් ඇසුණා. ඇවිදගන්න බැරිව හිටපු මම බොහොම අමාරුවෙන් එහා පැත්තේ පුතා හිටපු කාමරයට ගියා. යනකොට පුතා මෙට්ටයේ ඇඹරිලා වගේ හිටියා. මම පුතාගේ ඔළුවෙන් උස්සන කොට කෙඳිරි ගෑවා. පස්සේ මම පපුව මසාජ් කළා. නහයෙන් සෙම ආවා. පස්සේ මම පහළ ඉන්න අම්මාට කතා කළා. පුතා කෑගල්ල මහ රෝහලට රැගෙන ආවා. වෛද්‍යවරු පුතා බලලා කිව්වා මියගිහින් කියලා.
මරණය ගැන සැකයක් නෑ. අකුණක් වැදී මිය යන්න ඇතැයි විශ්වාස කරනවා."

මියගිය පාසල් ශිෂ්‍යයාගේ මව වන ගොඩිගමුවලාගේ නිමාලි පුෂ්පකුමාරි (39) මහත්මිය ද හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන්නාය.

කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණවලට යොමු කළ බැවින් කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය විවෘත තීන්දුවක් ලබා දුන්නාය.

කෑගල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කපිල මාධව ලේකම්ගේ (48569) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය. මියගිය පාසල් ශිෂ්‍යයාගේ අවසන් කටයුතු හෙට (28) පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය හොඳින් පෙන්නුම් කරන්නේ අයහපත් කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල දුරකතන සහ විදුලි උපකරණ භාවිතයේදී අති ප්‍රවේශම් විය යුතු බවයි. විශේෂයෙන් අකුණු සහිත වැසි සමයේදී දුරකතන භාවිතය සම්බන්ධයෙන් දෙමාපියන් තම දරුවන්ට අවවාද කිරීම වැදගත් වන අතර, දරුවන් ද මෙවැනි අවවාද ගැන සැලකිලිමත් විය යුතුය.

ප්‍රදේශයේ පවුල්වල සොබාදම් අහිමි වූ මෙම සිදුවීම අසා දැන ගත් ප්‍රදේශවාසීන් බොහෝ කම්පාවට පත්ව සිටින අතර, සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ දරුවා අනපේක්ෂිත ලෙස ජීවිතක්ෂයට පත්වීම
ඔහුගේ පවුලේ අයට දරා ගැනීමට නොහැකි පාඩුවක් බව පවසති.

අකුණු සහිත දිනවල ආරක්ෂිත පියවර ගැනීම, දුරකතන ඇතුළු විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම වැනි දෑ, ජීවිත අහිමිවීම් වැළැක්වීමට උපකාරී වනු ඇත. විශේෂයෙන් පාසල් සිසුන් මෙම අනතුරු ගැන දැනුවත් වීමද ඉතා වැදගත් බව අවධාරණය කෙරේ.

මරණ පරීක්ෂණයේදී ලැබුණු සාක්ෂි අනුව, අදාළ ශිෂ්‍යයා දුරකතනය චාජ් කරමින් භාවිත කරද්දී සිදුවී ඇති මෙම අනතුර, විශේෂයෙන් සිසුන් අතර දුරකතන භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.