
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ අභාවයෙන් පසු, ඔහුගේ බිරිඳ වූ සතිෂා නිලන්ති මහත්මිය ද අද (මාර්තු 26) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර හේතුවෙන් මින් ඉහත සතිෂාගේ සොයුරාද මරු වැළඳගත් අතර මේ වන විට පවුලේ සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් මහත් ඛේදවාචකයක් බවට පත්ව ඇත.
සතිෂා නිලන්ති මහත්මිය තුන් නිවුන් දරුවන්ගේ මවක වූ අතර එම දරුවන් ලබන සතියේ දෙවන වියට පාතබන අයයි. ඉතා අවාසනාවන්ත ලෙස දරු තිදෙනාට මව හා පියා අහිමිව ගොස් තිබේ.
වාර්තා අනුව, සතිෂා නිලන්ති මහත්මිය සිදුවූ රිය අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ඇති අතර මොළයට සිදුවූ හානි නිසා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
මෙම අනතුරෙන් මීට පෙර සතිෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද මිය ගියේ ගුනේන්ද්‍ර මහතාගේ අවසන්කටයුතු සිදුකරන දිනයේදීය. සහෝදරයා ගේ අවසන් කටයුතු පෙරේදා (මාර්තු 24) බොරැල්ල කනත්තේදී සිදු කර ඇත.
අද ජීවිතක්ෂයට පත් වූ සතිෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියේ පසුවූ අතර ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක බව සඳහන්ය. ඇය රෝගාතුරව ප්‍රතිකාර ලබන අතර ආදි ශිෂ්‍යාවන් එක්වී ඇයගේ සුවය පතා විවිධ ක්‍රියාකාරකම්ද සිදුකර තිබුණ නමුත් අද උදේ මෙම ශෝකජනක ආරංචිය සැලවිය.
අනතුර සිදුවූයේ ඔවුන් ගමන් ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙනි. පැයට කිලෝමීටර 160 ක වේගයෙන් රථය ධාවනය කළ බව පැවසිණි. අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගත් නමුත් ඔවුන්ගේ තත්වය යහපත්ය. බිරිඳගේ මව හා දරුවන් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දැන් පියා සහ මව අහිමි වූ තුන් නිවුන් දරුවන් සුරැකීම සඳහා පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
විශ්ව විද්‍යාල ප්‍රජාව හා ශිෂ්‍යයින් මෙම දැඩි ශෝකජනක අවස්ථාවේදී අදාළ පවුලට සහයෝගය හා සානුකම්පිත බව පළ කරමින් සිටී.
මෙම ශෝකජනක සිදුවීම මාර්ග ආරක්ෂාව පිළිබඳව නැවත අවධානය යොමු කිරීමට හේතු වී ඇති අතර, විශේෂයෙන් අධිවේගී මාර්ගවල ආරක්ෂිත රියදුරු පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම මෙම සිදුවීම තුළින් නැවත අවධාරණය වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval