
අද (20) උදෑසන පාදුක්ක - ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේ වටරැක ලියන්වල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටි චීන ජාතිකයකු විසින් ධාවනය කරන ලද ටොයෝටා ලෑන්ඩ්කෘසර් ප්‍රාඩෝ වර්ගයේ රථයක් අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.
මීගොඩ පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රාථමික විමර්ශනයන්ට අනුව, අනතුරට ලක් වූ රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේ දී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බව සඳහන් කෙරේ. අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරින් රථයෙහි ගමන් ගත් රියදුරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුට සුළු තුවාල ඇති බැවින් තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.
අනතුරට ලක් වූ දුම්රිය, කැලණිවැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ධාවනය වන අවසන් දුම්රිය බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු විසින් තහවුරු කරන ලදී. අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අඩාල වී ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට විකල්ප ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගොඩ පොලිසිය විසින් සිදු කරමින් පවතී.

Comments
Post a Comment
Your comment will be visible after approval