Chocolate vendor who molested 9-year-old girl gets 15 years in prison

කොළඹ මහාධිකරණය විසින් නව හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ 59 හැවිරිදි එළවළු වෙළෙන්දෙකුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කර ඇත. මෙම තීරණය ඊයේ (25 වැනි දින) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.


හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නව හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක ඇගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා බරපතළ ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා දෙකටම මෙම එළවළු වෙළෙන්දා වරදකරු බව තහවුරු වී ඇත. සිර දඬුවමට අමතරව, විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 29,000ක දඩයක් ද, වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත. එම දඩය හා වන්දි මුදල නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිර දඬුවමක් ද නියම කර තිබේ.

නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව, විත්තිකරු විසින් සිද්ධියට පෙර සති දෙකක පමණ කාලයක් තිස්සේ දැරියට ටොෆි හා චොකලට් ලබාදීමෙන් ඇගේ විශ්වාසය දිනාගෙන ඇත. සිද්ධිය සිදුවූ දිනයේදී,ඔහු අත්කරත්තයකින් දැරිය පදිංචි මහල් නිවාසයට ගොස් එළවළු විකුණමින් සිටි අතර,
දැරිය සමඟ සෙල්ලම් කළ අනෙකුත් දරුවන් නිවෙස්වලට ගිය පසු, චොකලට් එකක් ලබාදී අසල තිබූ ජනශූන්‍ය ස්ථානයකට කැඳවාගෙන ගොස් එම අපරාධය සිදුකර ඇති බව විනිසුරුවරයා සිය තීන්දුවේදී පෙන්වා දුන්නේය.

විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේ තමාට එරෙහිව මෙම චෝදනා නගන්නේ ඊට ආසන්න දිනක දැරියගේ නිවස අසල පදිංචි වෙනත් කාන්තාවක සමඟ ඇතිකරගත් බහින්බස්වීමකට පළිගැනීමක් ලෙස බවයි. එහෙත් විනිසුරුවරයා එම විත්ති වාචිකය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මවකට දියණිය වටිනා වස්තුවක් බවත්, ඥාතියකු හෝ නොවන වෙනත් කාන්තාවකට පහරදීමට පළිගැනීමට එවන් කුඩා දැරියක පටලවා පොලිසියට හෝ අධිකරණයට යෑමට කිසිම මවක පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත්ය. විත්තිකරු සිදුකර ඇත්තේ ශිෂ්ට සමාජය පිළිකුල් කරන, මනුෂ්‍යත්වයට නිගාදෙන බරපතළ වරදක් බව විනිසුරුවරයා අවධාරණය කළේය.

සිද්ධියෙන් වසර 12කට පමණ පසු වින්දිත තරුණිය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති බවත්, ඇගේ සාක්ෂිය හා ඇයව පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා ලබාදුන් සාක්ෂිය එකිනෙකට සැසඳෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, තම සේවාදායකයා සිද්ධිය වන විට 44 හැවිරිදි සිව්දරු පියකු වූ බවත්, වෙනත් නඩු හෝ චෝදනාවලට වරදකරු වී නොමැති බවත් පෙන්වා දෙමින් ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය, මනුෂ්‍යත්වයට නිගා දෙන මෙවැනි වැරදිවලට විත්තිකරු වරදකරු බවට නිගමනය කර ඇති බැවින් උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

අධිකරණයේ අවසරය ඇතිව අදහස් දැක්වූ අගතියට පත් තරුණිය, එම සිද්ධිය නිසා තමා අදටත් දැඩි මානසික පීඩනයකින් පසුවන බව පවසමින්, අධිකරණයේ අභිමතය පරිදි විත්තිකරුට සුදුසු දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

දරුවන් සිටින පියකු වන විත්තිකරු සිදුකර ඇති වරද ඉතා බරපතළ වුවත්, ඔහුගේ වයස හා පෙර වැරදි නොමැති බව සලකා ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරු නවරත්න මාරසිංහ මහතා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.


මහාධිකරණය විසින් නිකුත් කළ එම තීන්දු ප්‍රකාශය මහාධිකරණ භාෂණ පරිවර්තක ඩී. තුවාන් සදාම් මහතා විත්තිකරුට පහදා දුන්නේය.

මෙම තීන්දුව මගින් ළමා අපයෝජන සම්බන්ධ නඩුවලදී අධිකරණය දක්වන ප්‍රතිපත්තිමය ස්ථාවරය හා එවැනි අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව යළිත් අවධාරණය කෙරේ.