The Chief Incumbent of Kiralogama Viharaya was mysteriously murdered in the monastery.

අනුරාධපුර  එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාර්තු 25 වන දින දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට ලක් වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමි බව හඳුනාගෙන තිබේ. උන්වහන්සේ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස තනිවම වැඩ වාසය කර ඇත.මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ප්‍රදේශයට පැමිණ කුඩාවට විහාරස්ථානයක් ආරම්භ කර එය ධානපතීන්ගේ ආධාර උපකාර මැද සංවර්ධනය කර ගෙන සිට ඇත.


පොලිස් වාර්තා අනුව, මිය ගිය හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු සහ වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇත. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ අතර, එහිදී මිය ගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවත් අනාවරණය වී ඇත.

ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශ අනුව, ප්‍රේමරතන හිමියන් එම විහාරස්ථානයේ තනිවම වැඩ සිට ඇති අතර, ගම්මානයේ ජනතාව සමඟ සමීප ඇසුරක් පවත්වා නොමැත. පිට විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මාර්තු 25 වන දින සවස කාලයේ මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඇත.ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුනෙහි බරපතල කැපුම් තුවාල පවතින අතර, ලිංගේන්ද්‍රයද කපා දමා ඇතැයි පොලීසිය පවසයි.


පොලිසිය පවසන පරිදි, මෘත ශරීරය නරක් වී තිබීම හේතුවෙන් ඝාතනය මීට දින කිහිපයකට පෙර සිදු වන්නට ඇතැයි සැක කෙරේ. සිද්ධිය දුටු ස්වාමීන් වහන්සේ ගම්වාසීන් හරහා ග්‍රාමසේවක දැනුවත් කර, අනතුරුව එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

වැඩිදුර පරීක්ෂණවලදී, ඝාතනයට ලක් වූ බවට සැක කෙරෙන විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු ලේඛන කිහිපයක් විහාරස්ථානයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටි ස්ථානයක හමු වී තිබේ. තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල මෙම ලේඛන විසි කර දමා තිබියදී සොයාගෙන ඇත.

තවද, ස්වාමීන් වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රීරෝද රථය ද අස්ථානගත වී ඇති බව පොලිසිය විසින් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, ත්‍රිරෝද රථයේ රියදුරු පිළිබඳ තොරතුරු මේ වන විටත් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් හැට නව හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.




සිද්ධිය වූ ස්ථානයේ තිබී පාවහන් යුගල 03 ක් , වක් පිහියක් පොලීසිය වැඩි දුර විමර්ශන සදහා රැගෙන යනු ලැබීය.
පොලිසිය පවසන පරිදි, මෙම ඝාතනය සිදු කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපරාධයේ සැක කරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් අවට ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සහ අපරාධ ස්ථානයේ සාක්ෂි එක්රැස් කිරීම ආරම්භ කර ඇත. මෙම ඝාතනය ඉතා කෲර ආකාරයෙන් සිදු කර ඇති බවත්, එය පූර්ව සැලසුමකින් යුතුව සිදු කර ඇති බවට සැක කෙරෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන එප්පාවල පොලිසිය, මහජනතාවගෙන් මෙම සිද්ධිය සම්බන්ධ යම් තොරතුරක් ඇත්නම් එය වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමියන්ගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, සිද්ධිය පිළිබඳ අධිකරණ කටයුතු ඉදිරියේදී ආරම්භ කෙරෙනු ඇත.