health-professionals-to-hold-24-hour-symbolic-strike-tomorrow-18

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, කලින් තීරණය කර ගත් පරිදි හෙට (18) උදෑසන හතට වර්ජනය ආරම්භ කරන බව ඔහු තහවුරු කළේය.මෙම වර්ජනයට දිවයිනේ සියලුම රෝහල්වලින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් පැය විසිහතරක සංකේත වර්ජනයකට එක්වීමට නියමිත බව වාර්තා වේ.


හෙට (මාර්තු 18) දින උදෑසන හත සිට ක්‍රියාත්මක වන සංකේත වර්ජනය තුළදී සියලු රෝහල්වල හදිසි, අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කර සිටියි.මෙම වර්ජනය තුළදී සියලුම ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්වල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි. තවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේද සම්පූර්ණ සේවා අඛණ්ඩව සැපයෙන බවද ඔහු අවධාරණය කළේය.


කෙසේ වෙතත්, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ දේශපාලන වෘත්තීය සමිති යොදවා වර්ජනය කඩාකප්පල් කිරීමට සැලසුමක් පවතින බව තමන් වෙත වාර්තා වී ඇති බව රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නේය. එවැනි උත්සාහයන් ගන්නා රෝහල්වල ඉහත සඳහන් සේවාවන්ගේ සැපයීමද අත්හිටුවීමට සිදුවන බව ඔහු අනතුරු ඇඟවීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය මෙම පැය 24ක වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසා සිටියේ, "අපිට විශේෂ අතිකාල රේට් අගයක් ලබාදීලා තිබීමයි, අයවැයෙන් සාමාන්‍යයෙන් පඩි වැඩිවීමයි කියන දෙක ආණ්ඩුව බරපතළ විදියට පටළවාගෙන තියෙනවා," යනුවෙනි.


මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල සාමාන්‍ය සේවාවන්ට බලපෑම් ඇතිවනු ඇති නමුත්, හදිසි අවස්ථා සහ ජීවිතාරක්ෂක සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අවධාරණය කර සිටී.