Suspect arrested for stealing property worth Rs. 2.5 million from five houses in Mattegoda area

මත්තේගොඩ ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ සහ ඉංජිනේරුවරයකුගේ නිවාස ඇතුළු නිවාස පහකට බලහත්කාරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ විසිපහකට අධික වටිනාකමින් යුත් දේපළ සොරකම් කළ පුද්ගලයෙකු මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



පොලිසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි.

විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට, සැකකරු මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට පදිංචි වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගේ නිවාසවලට ඇතුළු වී විශාල දේපළ තොගයක් සොරකම් කර ඇත.

සොරකම් කරන ලද භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර තුනක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක්, හෝම් තියටර් පද්ධතියක්, අඩි හතරක් උස බෆල් හතරක්, විදුලි පංකා දෙකක්, ගෑස් ලිපක්, ටූල් කිට් එකක්, විදේශීය ඇඳුම් බෑගයක්, පිත්තල පොල්තෙල් පහන් දෙකක්, ගිනි නිවන උපකරණයක්, රයිස් කුකරයක්, ඩීවීඩී යන්ත්‍රයක් සහ විදුලි කේතලයක් ඇතුළු භාණ්ඩ රැසක් ඇතුලත් වෙයි.

මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව, ගෘහ භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට අලෙවි කර ඇති බවට දැනගැනීමෙන් පසු කරන ලද විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මත්තේගොඩ සහ මහරගම ප්‍රදේශවලට අලෙවි කර තිබූ සොරකම් කළ භාණ්ඩ තොගයක්ද සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.

පොලිසිය තවදුරටත් සඳහන් කරන්නේ සොරකම් කරන ලද භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවත්, සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත්, සොරකම් කිරීමෙන් ලබාගත් මුදල් ඔහු මත්ද්‍රව්‍ය සඳහා වැය කර ඇති බවත්ය.

තවද, සැකකරු මීට පෙර කහතුඩුව පොලිස් වසමේද නිවසක් බිඳ දේපළ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ වී බන්ධනාගාරගත වී සිට නිදහස් වී ආ පුද්ගලයෙකු බවද පොලිසිය හෙළි කර ඇත.

මත්තේගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, සැකකරු ඉදිරියේදී අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.