
පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් තම සැමියා හිරාන්ගෙන් වෙන්වූ බව පැවසූ දේශපාලනඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් මුල්වරට ඒහා සම්බන්ධිත අදහස් සාකච්ඡා කර තිබේ.
මෙම වැඩසටහන මාතෘත්වය ඉලක්ක කර ප්‍රශ්න විමසන්නක් වූ අතර හිරුණිකාගේ විවාහ ප්‍රශ්නය සෘජුවම විමසා තිබුනේ නැත. කෙසේ වෙතත් ඇය එහිදී පළ කළ අදහස් වලින් ගම්‍ය වූයේ සැමියා ඇය හැරගොස් ඇය දරුවන් තිදෙනෙකු බලාගන්නා 'සිංගල් මම්' තත්වයට පත්ව ඇති බවකි.
කාන්තාවක් ගේ සම්පූර්ණත්වය ඇගේ අම්මා වීමෙන් පමණක් තීරණය නොවන බවත්, ශක්තිමත් කාන්තාවක් වීමෙන් සම්පූර්ණත්වයට පත්වන බවත් ප්‍රකාශ කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය "අම්මා" නමැති මෙම වැඩසටහනේදී සිය අත්දැකීම් හා අදහස් බෙදා ගත්තාය.
හිරාන් සමඟ විවාහ වූ ඇය, මුල්ම පුතා ලැබීමට පෙර දරුවන් දෙදෙනෙක් අහිමි වූ බව පවසමින් කතාව ආරම්භ කළාය. "මට පුතා හම්බෙන්න කලින් ඊට කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා. දෙන්නම නැතිවුණා," යැයි ඇය සඳහන් කළාය.
"කාන්තාවක් සමහරු කියනවා සම්පූර්ණ වෙන්නෙ අම්මා කෙනෙක් වුණාම කියලා, මම ඒක පිළිගන්නේ නෑ. කාන්තාවක් සම්පූර්ණ වෙන්නේ ඇය ශක්තිමත් කාන්තාවක් වුනොත්," යනුවෙන් හිරුණිකා මහත්මිය තම මතය ඉදිරිපත් කළාය. ඒ අනුව, "සිංගල් මදර් කොන්සෙප්ට්" එක සම්පූර්ණ නැති බවත්, ළමයි හදාගෙන ශක්තිමත්ව මුහුණ දීම ප්‍රශංසනීය බවත් ඇය පැවසුවාය.
තම ජීවිතය හා ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන ආකාරය පැහැදිලි කරමින්, "මම හරියට ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. මගේ ජීවිතේ හැමදේම එහෙමයි. මම හිරාන්ව හම්බෙන්න කලින් මගේ ඔළුවේ තිබ්බා මට ඕනෙ හයයි දෙකක් හයයි තුනක් උස, ලස්සන, කරුණාවන්ත, ජොලියෙන් ඉන්න කෙනෙක්," යැයි ඇය කීවාය.
"පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වෙන්න බෑ. පර්ෆෙක්ට් මිනිස්සුත් නැති නිසා පර්ෆෙක්ට් අම්මලාත් ඉන්න විදියක් නෑනේ. හැම කෙනෙක්ගෙම යම් යම් අඩුපාඩු තියෙනවා. පර්ෆෙක්ට් නැතිකම තමයි හොඳ. මොකද පර්ෆෙක්ට් වුණොත් රොබෝ කෙනෙක් වගේ වෙයි," යැයි ඇය පැවසුවාය.
ඇය තවදුරටත් අදහස් දක්වමින්, "අපි දන්නවා අපේ අඩුපාඩු මොනවාද කියලා. දරුවාට ඒවා යවන්නේ නැතිව අපි දරුවාට රෝල් මොඩල් කෙනෙක් වෙන්න ඕනෑ. අපි දරුවාව අපි කරගන්න හොඳ නෑ. දරුවන්ට 'මං වගේ වෙන්න, මහත්තයා වගේ වෙන්න' කියන්නේ නැතිව දරුවාට ඒ විදියට හැදෙන්න ඉඩ දෙන්න," යනුවෙන් තම අදහස ඉදිරිපත් කළාය.
"ලංකාවේ බහුතරයක් පවුල්වලට, අම්මට තනියෙන් දරුවා බලාගන්න වෙලා තියෙනවා," යැයි හිරුණිකා මහත්මිය පෙන්වා දුන්නාය. "ශක්තියක් තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමන්ගේ දරුවත් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්," යැයි ඇය විශ්වාස කරයි.
සමහර අවස්ථාවල, මහත්තයා දාලා ගියත්, වෙන කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුළුවන් බවත්, අවුරුදු ගණනක් ළමයිනුත් ලොකු වුණාට පස්සේ ආදරයක් ඇතිවෙන්න පුළුවන් බවත් ඇය පැවසුවාය. "ඒවා හරිම සාමාන්‍ය දේවල්. අපි මිනිස්සු නේ," යැයි ඇය අවධාරණය කළාය.
සමහර තාත්තලා නමට පමණක් සිටින අතර, එවැනි අවස්ථාවල අම්මලා තනිවම දරුවන් හදා වඩා ගැනීමේ කාර්යය ඉටු කරන බව හිරුණිකා මහත්මිය පෙන්වා දුන්නාය. "ලෝකේ කිසිම අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවා නම්, සැමියා මැරුණයි කියලා ගිනිගොඩට පැනපු අම්මලා නෑ. මොකද කරන්න ලොකු වගකීමක් තියෙනවා," යැයි ඇය කීවාය.
"තාත්තා නැති වුණාට පස්සේ, හෝ දාලා ගියාට පස්සේ, ඊට පසු වගකීම තමයි ළමයි. ලෝකේ කිසිම කාන්තාවක් දරුවන් නිසා ජීවිතයෙන් සමුගත්ත අය ගොඩක් අඩු ඇති," යැයි ඇය අදහස් දැක්වූවාය.
හිරුණිකා මහත්මිය සිය ජීවිත අත්දැකීම් ගැන විස්තර කරමින්, "මම ජූලි 6 හිරාන් සමඟ විවාහ වුණා. මට පුතා හම්බෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා. නමුත් දෙන්නම නැතිවුණා. පුතා හම්බ වුණේ 2017 අගෝස්තු 3. දෙවැනි දරුවා හම්බෙන්නේ 2019 අප්‍රේල් 24. තුන්වැනි දරුවා හම්බෙන්නේ 2021 ජනවාරි 15," යැයි සඳහන් කළාය.
ඇය පළමු දරුවා ගැන විස්තර කරමින්, "මම විවාහ වුණේ ජූලි 6, අගෝස්තු වල තමයි මැතිවරණය තිබ්බේ. විවාහ වුණ ගමන්ම දරුවා පිළිසිඳ ගෙන තිබුණා. මම ඒ බව දැනගෙන තමයි මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණේ. ඒක ලොකු අභියෝගයක් වුණා. යන යන තැන කලන්තය දැම්මා. රැස්වීම් මඟ හැරුණා. හැබැයි මම නම් හීනෙකින්වත් හිතුවේ නැහැ මම ගැබ් ගෙන ඇති කියලා," ඇය පැවසුවාය.
"අගෝස්තු 17 මැතිවරණ ප්‍රතිඵල රාත්‍රියේ, මම දවල්ට ටෙස්ට් එකක් කළා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මම බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. නමුත් ටික දවසක් යනකොට දරුවා නැති වුණා. ඊළඟට ආයෙත් ඒ වගේම වුණා. එතැනින් පස්සේ මම ඇත්තටම ටිකක් බය වුණා, ගොඩක් බය වුණා," යැයි ඇය තම හැඟීම් ප්‍රකාශ කළාය.
"තුන්වැනි වතාවේදී, මගේ පුතා හම්බෙන කොට, ගොඩක් පරිස්සම් වුණා. මම කරන රැකියාවත් එක්ක නිතරම ඇවිදින්න යන්න තියෙනවා. ගොඩක් පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිදු වුණා," යැයි ඇය පැවසුවාය.
හිරුණිකා මහත්මිය අනාගතය ගැන තම දැක්ම බෙදා ගනිමින්, "තාත්තා නැති වෙන්න කලින්, මට අවුරුදු 10කට, 20කට පස්සේ මොකක්ද කරන්නේ කියන දේ මම පොත්වල ලියනවා, බිත්තිවල ලියනවා. මම විශ්ව ශක්තිය රැස් කරනවා. තාත්තා නැති වුණායින් පස්සේ මං කල්පනා කළා, අනාගතය දිහා බලන එක කමක් නැහැ, හැබැයි ප්‍රැක්ටිකල් වෙන්න ඕන, වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා කියලා," යැයි ඇය සඳහන් කළාය.
ඇය තවදුරටත් කියා සිටියේ, "ඉස්සර අවුරුදු 14-15 දී මම ලියනවා, 'මම දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ, මම නැගිටලා කතාවක් කරනවා, හැමෝම මං දිහා පුදුම වෙලා බලන් ඉන්නවා' කියලා. ඒ හීන දැන් සැබෑ වෙලා. මගේ ජීවිතේ හැමදේම එහෙමයි," යැයි ඇය පැවසුවාය.
හිරුණිකා මහත්මිය වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු ගැන අවධානය යොමු කරමින්, "මේ දවස්වල ලංකාවේ ජීවත්වන පුරවැසියන් අතින් ලොකු ඛේදවාචක සිදු වෙනවා. ඉදිරියට දරුවන්ට ජීවත් වෙන්න බැරි මානසික තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. මිනිස්සු තිරිසනුන් වගේ හැසිරෙනවා. භයානක කාලයකට අපි යමින් ඉන්නේ," යැයි අනතුරු ඇඟවූවාය.
ඇය තවදුරටත් විග්‍රහ කරමින්, "පිටරට විනෝදය සහ මානසික සහනය සඳහා තැන් ගොඩක් තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සු ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. ආර්ථික තත්ත්වය සමඟ හරිම අමාරුයි. මිනිසුන්ට මානසික අසහනය දෙන තැන් නැහැ. ඒ නිසා මිනිස්සු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න පවා බයයි, මොකද ඒවා කතා කරන්න නැති විෂයයන් නිසා," යැයි ඇය කීවාය.
හිරුණිකා මහත්මිය ළමා ආරක්ෂාව ගැන අවධානය යොමු කරමින්, "පුංචි දරුවන්ට ලිංගික පාඩම් ගැන කියලා දෙන්න පොතක් එළියට දැම්මම මිනිස්සු කෑ ගහනවා. නමුත් දරුවන්ට ලිංගිකත්වය ගැන කියලා දෙන්නේ නැතිව, දරුවෝ කොහොමද දන්නේ ශරීරය ගැන, මොන තැන්වල අතගෑවොත් වැරදිද කියලා?" ඇය ප්‍රශ්න කළාය.
"පිටරටවල පොඩි කාලේ ඉඳන් 'ගුඩ් ටච්, බෑඩ් ටච්' මොනවාද කියලා, ටොයිලට් එකට ගිහින් කොහොමද හෝදගන්නේ කියන දේවල් දරුවන්ට කියලා දෙනවා. ඒවා අපේ රටේ කියලා දෙන්නේ නැහැ," යැයි ඇය පෙන්වා දුන්නාය.
තම දරුවන් ගැන කතා කරමින්, "මගේ පුතාත් එක්ක අපි දෙන්නට සීක්‍රට් ලැන්ග්වේජ් එකක් තියෙනවා. එයාට අවුරුදු හතරයි, මං එයාට පෙර පාසලට යනකොට ඒ භාෂාව හරිම ආරක්ෂිතයි. එතනින් එහාට වෙන කෙනෙක් අපි දෙන්නට කතා කරන පොඩි භාෂාවක් හෝ වචනයක් තියෙනවා, ඒක කිව්වොත් විතරයි අම්මා දන්නේ අනතුරක් තියෙනවා කියලා. අම්මලා තම දරුවන්ට එවැනි ක්‍රමවේදයක් හදාගන්න ඕනෑ, නැත්නම් හරි අමාරුයි දරුවන් පරිස්සම් කරගන්න," යැයි ඇය අවධාරණය කළාය.
හිරුණිකා මහත්මියගෙන් අසන ලද අවසාන ප්‍රශ්නය වූයේ, "දරුවන් ලැබිය නොහැකි අයට ඔබේ පණිවිඩය කුමක්ද?" යන්නයි. ඇය මෙසේ පිළිතුරු දුන්නාය: "මෙහෙමයි, කාන්තාවක් සම්පූර්ණයෙන් අම්මා කෙනෙක් වුණාම සම්පූර්ණයි කියලා සමහරු කියනවා. මම ඒක පිළිගන්නේ නෑ. කාන්තාවක් සම්පූර්ණ වෙන්නේ ඇය ශක්තිමත් කාන්තාවක් වුනොත්. සමහර කාන්තාවන් ළමයි හදන්න කැමති නෑ, කමක් නෑ. ඒක එයාගේ කැමැත්ත."
ඇය තවදුරටත් අදහස් දක්වමින්, "අපි පුරුදු විය යුතුයි, ඕනෑම කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට ඉඩ දීලා, ඒ ගොල්ලන් ඕන දෙයක් කරගත්තාට කියලා ඉන්න. අපේ සමාජයේ තමයි කසාද බැඳලා අවුරුද්දක් යනකොට 'ළමයි නැද්ද' කියලා අහනවා, ළමයෙක් හැදුවම 'දෙවැනි එක හදන්නේ නැද්ද' කියලා අහනවා. අපේ මිනිස්සු පුදුම ප්‍රශ්න අහනවා," යැයි ඇය පැවසුවාය.
"ඇත්තටම හරි අමාරුයි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා, කසාද බැඳපු නැති කෙනෙක් ඉස්සරහා කසාද ජීවිතය ගැන කතා කරන්න හොඳ නෑ. දරුවෝ නැති කෙනෙක් ඉස්සරහා දරුවෝ ගැන කතා කරන්න හොඳ නෑ. සැමියා නැති වුණු කෙනෙක් ඉස්සරහා තමන්ගේ පවුල් ජීවිතය ගැන කතා කරන්න හොඳ නෑ. අපි පුළුවන් තරම් තව කෙනෙක්ගේ හිත නොරිදා ජීවිතය ගත කරන්න ඕනෑ," යැයි ඇය අවසන් වශයෙන් සඳහන් කළාය.
සම්බන්ධිත පෙර පුවත
හිරුණිකා - හිරාන් වෙන්වෙති
Comments
Post a Comment
Your comment will be visible after approval