
අක්මීමන ඉහළගොඩ ප්‍රදේශයේදී විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි අහංගම වලව්වගේ සිරිදත් ධර්මික මහතා (61) තම නිවසේ මිදුලේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනය කළ සිදුවීම පසුගිය 13 වන දින සවස 5.10ට පමණ සිදුවී ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
"අපි හිතුවේ රතිඤ්ඤා පත්තු කරනවා කියලා. අම්මා කෑගහගෙන ඇවිත් කීවා තාත්තාට වෙඩි තියනවා කියලා. අපි ඇවිත් බලන විට තාත්තා ගෙමිදුලේ වැලි ගොඩ ළඟ වැටී සිටියා," යැයි ඝාතනයට ලක්වූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාගේ බෑනා වන නිමාල් ලත්ලාගේ මහතා පැවසීය.
ගාල්ල මහනගර සභාවේ තාක්ෂණික නිලධාරියෙකු ලෙස රාජකාරි කරන නිමාල් ලත්ලාගේ මහතා තවදුරටත් පැවසූයේ, "තාත්තා ජීවිත තර්ජන තිබුණා කියලා කවදාවත් අපිත් සමඟ කථා කරලා නැහැ. එහෙම විශේෂ දෙයක් කියලා නැහැ. දැන් තාත්තා නැති වුණා," යනුවෙනි.
දැඩි කම්පනයට පත්ව සිටි නිමාල් මහතා සිදුවීම පිළිබඳව තවදුරටත් විස්තර කරමින්, "මම ගාල්ල මහනගර සභාවේ තාක්ෂණික නිලධාරියකු ලෙස රාජකාරි කරනවා. ඝාතනයට ලක්ව ඇත්තේ මගේ බිරියගේ පියා. මගේ බිරිය රැකියාවක් කරන්නේ නැහැ. අම්මයි තාත්තායි ඉදිරිපස නිවසේ පදිංචි වෙලා හිටියා. අපි හිටියේ පිටුපස නිවසේ. 13 වැනිදා හවස තාත්තා උදැල්ලකින් මිදුල පිරිසිදු කරමින් හිටියා. එදින පස්වරු 4.30ට පමණ වන්නට ඇති. එකවරම ශබ්දයක් ඇසුණා. අපි හිතුවේ රතිඤ්ඤා පත්තු කරනවා කියලා. අම්මා ඒ ශබ්දයට මිදුලට ගොස් බලනවා. දෙදෙනෙකු ගිනි අවියක් අරගෙන එනවා අම්මා දැකලා තියෙනවා. ඇය තාත්තාට වෙඩි තියනවා කියලා කෑගහගෙන අපේ නිවස දෙසට ආවා. අපි ගිහින් බලනවිට තාත්තා මිදුලේ වැටී සිටියා,
හිසට තමයි වෙඩි වැදිලා තිබුණේ. හිසේ සහ මුහුණින් ලේ ගලමින් තිබුණා. 1990 හදිසි ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයකින් තාත්තා කරාපිටිය ජාතික රෝහලට රැගෙන ගියා,තාත්තා මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් කීවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.
ඝාතනයට ලක්වූ අහංගම වලව්වගේ සිරිදත් ධර්මික මහතා 61 වැනි වියේ පසුවූ අතර, ඔහුගේ බිරිය චම්පා මල්කාන්ති මහත්මිය ගෘහණියකි. සිරිදත් ධර්මික මහතා එක් දරු පියෙකි.
ඔහුගේ අකල් මරණය හමුවේ බිරිය දැඩි ශෝකයට පත්ව සිටින අතර, හදිසි වියෝව දරාගැනීමට ඇයට නොහැකි බව පවුලේ සාමාජිකයන් පවසයි.
විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා තම ගෙවත්තේ මිදුල උදැල්ලකින් ශුද්ධ කරමින් සිටියදී පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර් නවයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කොට ඇත.
ධර්මික මහතාගේ හිතවතෙකු ප්‍රකාශ කළේ, "ධර්මික මහත්තයා මම ඉතා ළඟින් ඇසුරු කළා. මම ඔහු සමඟ ගමන් බිමන් පවා ගිහින් තියෙනවා. නමුත් කිසි දිනක ජීවිත තර්ජන තියෙනවා කියලා මාත් සමඟ කියලා නැහැ. ඔහු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරි කටයුතු කිරීමේ දී නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. අවංක නිලධාරියෙක් මොහු ඝාතනය වීමට පැය දෙක තුනකට කලින් මම මිදුලේ ඉන්නවිට මම කථා කරලා ගියා," යනුවෙනි.
තවද පසුගිය දිනක බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසකට හිටපු බන්ධනාගාර අධිකාරිවරයා හමුවී ඇති අතර,
"මම දැන් විශ්‍රාම ගිහින්නේ ඉන්නේ මට එහෙම තර්ජනයක් නැහැ" යැයි ඔහු පවසා ඇත.
වාර්තාවන අන්දමට, විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා මුදල් පොලියට ලබාදීමේ නිරතව සිටි බව පැවසේ. ඔහුට අයත් බව කියන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසල 2024 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා කිසියම් අයෙකු විසින් ගිනි තබා තිබුණි.
විශේෂයෙන්ම, මොහු ඝාතනයට ලක්ව ඇත්තේ හරියටම ඉන් වසරකට පමණ පසු 2025 මාර්තු මස 13 වැනි දිනය. විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාගේ උපන් දිනය මාර්තු මස 05 වැනිදාට යෙදී තිබූ අතර, ඔහු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී මීට වසරකට පමණ පෙර විශ්‍රාම ගොස් ඇත.
අක්මීමණ ඉහළගොඩ ප්‍රදේශයේදී ඝාතනය කරන ලද විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේ පවත්වා ඇත. සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීනි විශාධා පෙරේරා මහත්මිය පැවසූ පරිදි, මරණය සිදු වී ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් බවට තීරණය කර ඇත.
සිද්ධිය වාර්තාවීමත් සමඟ කරාපිටිය රෝහලට ගිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියෝග කොට වැඩිදුර සාක්ෂි විමසීම 26 වැනිදාට කල් තබා ඇත.
අක්මීමණ පොලිසිය විසින් ප්‍රදේශය පුරා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී යක්කලමුල්ල සිතලදොල ආරණ්‍ය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ යතුරු පැදි දෙකක් සොයාගන්නා ලද අතර, පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ එම යතුරු පැදි දෙක සැකකරුවන් පැමිණි යතුරු පැදි බවටය.
ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඝාතනය පිටුපස ඇති හේතු මේ වන විටත් පරීක්ෂණයට ලක්වෙමින් පවතින අතර, ඝාතකයින් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
පෙර විස්තර
මරණ තර්ජන තිබුණ බූස්ස බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික නිවසේදී ඝාතනය කෙරේ
සිරිදත් ධම්මික ඝාතනය පොඩි ලැසිගේ වැඩක්ද? ණය පොලී කරුවෙකුගේ වැඩක්ද?

Comments
Post a Comment
Your comment will be visible after approval