supreme-court-grants-shanis-easter-sunday-terror-attack-petition

ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වාගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.


මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ එම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මස 16 වනදා එය කැඳවන ලෙසය.

පෙත්සම්කරු ශානි අබේසේකර මහතා චෝදනා කරන්නේ ඉකුත් රජය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. එමෙන්ම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් සම්බන්ධයෙන් නිසියාකාරව විමර්ශන සිදු නොකළ බව සඳහන් කරමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කෙරුණු බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අනුව, ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙන්වා දී ඇති පෙත්සම්කරු, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ද්වේශසහගත ලෙස තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර අසා බැලීම් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔක්තෝබර් මස 16 වන දින නියම කර ඇති අතර, එදිනට පෙත්සම් පාර්ශ්වය මෙන්ම වගඋත්තරකරුවන් ද අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.