
සංචාරක සංවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සංචාරය කරන සංචාරකයින් සඳහා හෝටල් කාමර වෙන් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කරන ආයතන පිළිබඳ ඒකාධිකාරය බිඳ දැමීමට නව ආයතන ඇති කිරීමට පියවර ගන්නා බවයි.
දැනට ක්‍රියාත්මක වන බුකින් ඩොට් කොම් (booking.com) ආයතනය ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවත්,
එම ආයතනය රටෙන් විශාල ලාභයක් රැගෙන යන බවත්, සුදුසු බදු මුදල් ගෙවීම සිදු නොකරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි දැන් වෙනත් ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් නව ඔන්ලයින් හෝටල් වෙන් කිරීමේ වේදිකාවක් ද ආරම්භ කර ඇති බව" අමාත්‍යවරයා පැවසීය.
ගෝලීය වශයෙන් බලන කල බුකින් ඩොට් කොම් සැබවින්ම ඒකාධිකාරයක් දරන බවත්, යුරෝපීය අධිකරණයේද මෙම ආයතනයේ ඒකාධිකාරය පිළිබඳව නඩු පැවරී ඇති බවත් විශ්ලේෂණාත්මකව සඳහන් විය.
කෙසේ වෙතත්, අන්තර්ජාලයේ ජනප්‍රිය ගෝලීය වේදිකාවලට ශ්‍රී ලංකාවෙන් විකල්ප සැපයීම ප්‍රායෝගිකව අභියෝගාත්මක කාර්යයක් බව ද නිරීක්ෂකයන් පෙන්වා දෙයි. මන්ද, සංචාරකයන් දැනටමත් හුරුපුරුදු සහ ලොව පුරා ලියාපදිංචි කර ඇති සේවා සපයන්නන් විශාල සංඛ්‍යාවක් සහිත වේදිකා තෝරා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වන බැවිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval