Was the murder of Siridat Dhammika the work of a petty rascal? Or the work of a loan shark?

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී ඒ. ඩබ්ලිව්. සිරිදත් ධම්මික මහතා ඔහුගේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කළ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ මාර්තු 13 වන දින සවස කාලයේදී වාර්තා විය.ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ මිදුලේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.පොලිස් වාර්තා අනුව, ඔහු තම නිවසේ මිදුලේ අතුගාමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් ඔහුගේ මුවට වෙඩි තබා ඝාතනය සිදු කර ඇත.
ඝාතනය සඳහා යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයෙකු සහාය වී ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුන් පළාගොස් තිබුණි.

වයස අවුරුදු 61ක් වූ ධම්මික මහතා, බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස සේවය කර පසුගිය වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම ගත් අයෙකි.
විශ්‍රාම ගැනීමෙන් පසු, ධම්මික මහතා තම නිවස ඉදිරිපිට ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන හාඩ්වෙයාර් සාප්පුවක් ආරම්භ කර තිබූ අතර දිගින් දිගටම ඔහුට තර්ජන තිබී ඇත.ඔහුගේ මරණයට පෙර මෙම ව්‍යාපාරික ස්ථානයට ද ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තාවී තිබේ. එහිදී කිසියම් පිරිසක් යන්ත්‍ර භාවිතා කරමින් වෙළඳසැලේ දොරටුව බිඳ ඇතුළට පෙට්‍රල් වක්කර ගිනි තබා තිබුණ නමුත් එය කවුරුන් කරන ලද්දක්දැයි පොලිසිය සොයාගෙන නොතිබිණි.

ධම්මික මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මාස අටක කාලයක් පමණ පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක ද නිරත වී සිට ඇති අතර ඔහුගෙන් ණය ලබාගත් අය සම්බන්ධ ගැටලුද තිබී ඇත.


පොලිස් විමර්ශන අනුව, ධම්මික මහතාගේ බන්ධනාගාර සේවා කාලය තුළ  පාතාල අපරාධකරුවන්ගේ තර්ජනයන්ට නිරන්තරයෙන් ලක්ව සිට ඇති  අතර 2020 දී පොඩි ලැසී කළ තර්ජනයක් මත ඔහු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් මේ ගැන උසාවියටද වාර්තා කර තිබුණි.

පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය සිදුව ඇත්තේ ඔහු සේවා කාලය තුළ සිදු කළ යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස විය හැකි බවයි. විශේෂයෙන්ම, මෙම විශ්‍රාමික නිලධාරියා ඇප ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පොඩි ලැසි ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ ඉලක්කයක් වී සිට ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කර ඇති පරිදි, මෙම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදා විමර්ශන පැවැත්වෙමින් පවතී. අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා ප්‍රදේශය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා ඇත.

මෙම ඝාතනය සමඟ, ධම්මික මහතා බන්ධනාගාර ඉතිහාසයේ ඝාතනය වූ පළමු උසස් නිලධාරියා බවට පත්ව ඇති බව ද වාර්තා වේ.
පෙර විස්තර
මරණ තර්ජන තිබුණ බූස්ස බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික නිවසේදී ඝාතනය කෙරේ