
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට විවිධ දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් නම් කිරීමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතින අතර, ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් ඔවුන්ගේ අපේක්ෂකයන් දැනට නම් කර ඇති බව වාර්තා වේ.
ජාතික ජන බලවේගය
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය සතියේ නිවේදනය කළේ, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහනගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා වන බවයි.
සමගි ජන බලවේගය
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ආචාර්ය විශේෂඥ වෛද්‍ය රුවේස් හනීෆා මහතා නම් කර ඇති බව වාර්තා වෙනවා. සමගි ජන බලවේගය මෙය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.
රුවේස් හනීෆා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්වරයෙකු වන අතරම, 2013 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ පරණගම කොමිසමේ සමාජිකයෙකුද වනවා.
වෙනත් වාර්තාවක දැක්වෙන පරිදි,අද (මාර්තු 22 වන) දින සමගි ජන බලවේගය මෙය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව දැක්වේ.
එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය
කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය මෙවර එම තනතුර සඳහා තරග නොවදින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ අනුව ඇය ජාතික තලයේ දේශපාලන කටයුතු සඳහා පමණක් ඉදිරියේ දී සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා මේ වන විට තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර මේ දිනවල ඒ අතරින් කෙනෙකු ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි පක්ෂයේ නියෝජිතයෙකු පවසා ඇත.
එම පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ එරාන් වික්‍රමරත්න මහතා බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේ, හිරුණිකා එසේ අනුමාන කර පවසන්නට ඇති නමුත් එරාන් වික්‍රමරත්න කොළඹ නගරාධිපති අපේක්ෂකයා නොවන බවයි ඊට පිළිතුරු ලබා දෙමින් පාදුක්ක මහතා පවසා සිටියේ.
එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂය වෙනුවෙන් වෙනත් වගකීම් රැසක් පැවරී ඇති බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සුදුසු වේලාවේදී ප්‍රකාශයට පත් කරන බවත් පාදුක්ක මහතා වැඩි දුරටත් පැවසුවා.
එක්සත් ජාතික පක්ෂය විසින් සළකා බලනු ලබන අපේක්ෂකයන් අතරට හිටපු නගරාධිපති රෝසි සේනානායක සහ අසාද් සාලි ද ඇතුළත් වන බව වාර්තා වේ. කෙසේ වෙතත්, රෝසි සේනානායක මහත්මිය මෙවර තරග නොවදින බව තහවුරු කර තිබේ.
සර්වජන බලය පක්ෂය
සර්වජන බලය පක්ෂයෙන්
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට ව්‍යවසායක හසන්
අලාල්දීන් මහතා නම් කර තිබේ. දෙහිවල ප්‍රදේශයේ මාර්තු 21 වන දින පස්වරුවේ
පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකදී මේ බව නිවේදනය කර තිබුණි.
හසන්
අලාල්දීන් මහතා මින් පෙර සර්වජන බලය විධායක සභාවේ සාමාජිකයෙකු මෙන්ම
මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත. මෙම අවස්ථාවට සර්වජන බලය පක්ෂ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ඇමතිවරුන් වන චන්න ජයසුමන සහ
අලි සබ්‍රි යන මහත්වරුන්ද එක්ව සිටියහ.
ජාතික පාරිභෝගික පෙරමුණ හා ජනසෙත පෙරමුණ
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජනසෙත පෙරමුණ හරහා ඔහු මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
කොළඹ මහ නගර සභාව සඳහා ජනසෙත පෙරමුණ පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ට්‍රැක්ටරය ලකුණ යටතේ තරග කිරීම සඳහා අසේල සම්පත් විසින් මාර්තු 16 වන දිනයේදී නාම යෝජනා අත්සන් තබා තිබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අපේක්ෂකයා පිළිබඳව අදහස් දක්වමින් පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා ඇත්තේ "අපේ හිතෙත් අපේක්‍ෂකයෙක් ඉන්නවා, නමුත් අපි තවම එය හෙළිකිරීමට සූදානම් නැහැ. සඳුදා වන විට අපි නිල නිවේදනයක් නිකුත් කරනවා. අපි තෝරාගත් පුද්ගලයා සමඟ සාකච්ඡා කරමින් ඉන්නේ, බොහෝ දුරට, එදිනට අපිට තීරණය තහවුරු කිරීමට හැකිවෙයි" යනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මේ අතර හිටපු අමාත්‍යවරයකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කය සඳහා 'පුටුව' ලකුණ යටතේ ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව ඉදිරිපත් කරන බවයි.
"අපි පළාත් පාලන ආයතන 300 කට ද එම ලකුණින් තරඟ කරනවා. උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා අපි ඩග්ලස් දේවානන්දා, වීරේන්ද්‍රන්, මුෂාරක් සහ නසීර් අහමඩ් යන මහත්වරුන් සමඟ ඔවුන්ගේ දේශපාලන පක්ෂ යටතේ පෙළගැසී ඉන්නවා. අපි තවම නගරාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ. ප්‍රතිපත්තියක් ලෙස, අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ රට පුරා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයායි. කෙසේවෙතත්, කොළඹට අපේ අපේක්ෂකයා මාර්තු 17 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසු ප්‍රකාශයට පත්කිරීමට අපි සැලසුම් කරනවා." ඔහු පවසා තිබේ.
එක්සත් ජනරජ පෙරමුණ
මේ අතර පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ තරගකරුවන් කණ්ඩායමක් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාර්තු 15 වැනි දින 'පැන්සල' ලකුණින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා සිය නාමයෝජනා අත්සන් කර තිබිණි.
පාඨලී චම්පික රණවක එහිදී ප්‍රකාශ කළේ, තෝරාගත් පළාත් පාලන ආයතනවලට පමණක් තරඟ කරන බවයි.
පක්ෂ සියල්ලම පාහේ ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයන් නම් කරමින් සිටින අතර, ඉදිරි දිනවල තවත් බොහෝ පක්ෂ ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මැතිවරණ කොමිසම විසින් මැයි 06 මැතිවරණ දිනය ලෙස නිවේදනය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval