Investigation into fake AI video of Central Bank Governor claiming pyramid schemes are OK

තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය වන අයුරින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණයෙන් සකසා සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.




මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා තුළ ව්‍යාප්ත වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිල නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු අඟවා ඇත.

අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසූ අන්දමට, මෙම ව්‍යාජ වීඩියෝව සංසරණය වන සමාජ මාධ්‍ය වේදිකා හඳුනාගෙන ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, නීති මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව පෙන්වමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම වීඩියෝවල ප්‍රධාන අරමුණ වන්නේ, මහජනතාව වංචනික ආයෝජන ක්‍රම වෙත යොමු කිරීම බවයි.

මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර,
ඕනෑම තොරතුරක නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට මහ බැංකුවේ නිල වෙබ් අඩවිය (www.cbsl.gov.lk) හෝ නිල මූලාශ්‍ර පරිශීලනය කරන ලෙස උපදෙස් දී ඇත.

තවද, සැකසහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සන්නිවේදන නාළිකා වෙත වාර්තා කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාජ වීඩියෝව ඉතා සුළු කාලයක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වී ඇති අතර, මෙවැනි ව්‍යාජ තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රජයේ අදාළ ආයතන මහජනතාවගෙන් ඉල්ලා සිටී.