dilith-jayaweera-requests-an-exhibition-of-naga-relics-at-kelaniya-rajamaha-viharaya

සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කැලණිය රජමහා විහාරයේ නාග ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම ඊයේ (17) පාර්ලිමේන්තු සභාවාරයේදී ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.


ජයවීර මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේ වත්මන් රජය දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ගෙන ඇති තීරණය ඉතා අගනා කටයුත්තක් බවත්, එම තීරණය පිළිබඳව තමා ඉතා සතුටට පත්වන බවත්ය.
"හැම ආගමකටම ඇත්තේ එම දර්ශනයෙන් එහාට ගිය ශ්‍රද්ධාවක්. නාග ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන්ද ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති වනවා," යැයි දිලිත් ජයවීර මන්ත්‍රීවරයා පැවසීය.

තවද, ඔහු සඳහන් කළේ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් සමඟ දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්, එම සාකච්ඡා අනුව කැලණිය රජමහා විහාරය තුළ නාග ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විය යුතු බවත්ය.


පාර්ලිමේන්තුවේ විවාදය අතරතුරදී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ දිලිත් ජයවීර මන්ත්‍රීවරයා, නාග ධාතු ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ආණ්ඩුවේ අවධානය හා සහයෝගය ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ප්‍රචාරණ වැඩපිළිවෙලේ කොටසක් ලෙස කැලණි රජමහවිහාරයේ නාගයෙකු මතුවීම ගැන මවාපාන ලද පුවතක් දිලිත් ජයවීරට අයත් දෙරණ ටීවී නාලිකාවේ විකාශයවූ අතර ඒ තුළින් දේශපාලන වාසි ලබාගැනීමේ පටු උත්සාහයක කැලණිය විහාරාධිපති හා දෙරණ නාලිකාව  යෙදුණ බවට සමාජ මාධ්‍ය තුළ විවේචන පැවතිණි.