cant-ambapali-become-an-arahant-when-asked-by-piyumis-lawyer-was-he-unsure-whether-the-cream-or-powder-sold-for-34000-was-real

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරනු ලබන විමර්ශනයට අදාළ නඩු විභාගය අද (මාර්තු 21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඒ යටතේ මේ වනවිට ගනුදෙනුකරුවන් 34,506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කළේය.

තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස් දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා, එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත්, මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නීතිඥවරයා පැවසීය.

නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, "අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති" බවත් සඳහන් කර සිටියේය. ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය තිස්දහසකට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා ඇති බව සඳහන් කර ඇති බවයි.

2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර, එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

පියුමි හංසමාලි නමැත්තියට අයත් BMW මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බවත් පැවසීය.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවයි. මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කරනු ලැබීය.


1992 වසරේ උපන් පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් සිය වෘත්තිය ආරම්භ කරන්නේ 2010-2011 කාලවකවානුවේදී නිරූපිකාවක් ලෙසයි. ඒ වන විට මවක් වූ ඇය සිය දරුවා තනිව හදාවඩාගන්නා 'සිංගල් අම්මා' කෙනෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

2014 දී ඇය ඇගේ පළමු ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වූවාය. නැවත ඇය 2018 වසරේ දී චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ අතර, 2019 දී මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අනිල් කුමාර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක ජැක්සන් ඇන්තනී සමඟ රංගනයෙන් දායක වූවාය. මෙම කාලය අතරතුර ඇය ජාත්‍යන්තර නිරූපණ තරග කිහිපයක් ද නියෝජනය කළ අතර, වෙළඳ දැන්වීම් සහ ගීත වීඩියෝ සඳහා ද පෙනී සිටියාය.

සමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි. ඇගේ ටික්ටොක් ගිණුමේ ද අනුගාමිකයන් මිලියන 1.6ක් සිටියි. වර්තමානය වන විට ඇය සම පැහැපත් කරන ආලේපන අලෙවි කරන සමාගමක් පවත්වාගෙන යනු ලබයි.

පියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇතැයි පැවසෙන රේන්ජ් රෝවර් රථයක් සහ සුඛෝපභෝගී නිවස මිලදී ගැනීම සිදු කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පැමිණිලිකාර පාර්ශවය විසින් විමසන ප්‍රධාන ප්‍රශ්නයකි. පැමිණිල්ල ඉදිරිපත් කළ 'මගෙන් රටට' සංවිධානයේ ලේකම් සංජය මහවත්ත කියා සිටියේ එසේ නම් ඇය උපයා ඇති වත්කම්වලට ආදායම් බදු ගෙවා තිබේදැයි සොයා බැලිය යුතු බවයි.


සංජය මහවත්ත ප්‍රකාශ කර ඇත්තේ, "2023.03.07 දින පියුමි හංසමාලි, ප්‍රගීත් කියන පුද්ගලයා සමඟ ඇවිත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාවිත කළ CDM 1949 අංකය දරන රේන්ජ් රෝවර් රථය මිලට ගෙන තියෙනවා. ඇය කියන විදිහට මෙම රථය රුපියල් ලක්ෂ 780ක් වටිනවා."

එම රථයේ හිමිකරු මධුර වික්‍රමරත්න නමැත්තෙක් බවත්, ඔහු වසර 40ක් පුරා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින පුද්ගලයා බවත් සංජය පවසයි. එම රථය හිමිකරු විසින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ භාවිතය සඳහා ලබා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද සැකයක් ඇති බව පෙන්වා දෙයි.


සංජය පෙන්වා දෙන්නේ පියුමි හංසමාලිට අයත්, බැංකු 09ක පවත්වාගෙන යන ගිණුම් 20ක තොරතුරු ඔවුන් සතුව ඇති බවත්, පසුගිය වසරේ මාර්තු මස සිට මාස හයක කාලය තුළ ඇගේ ගිණුම් හරහා කෝටි 30ක පමණ මුදලක් සංසරණය වී ඇති බවත්ය.

සංජය මහවත්ත ඇතුලු කණ්ඩායම විසින් ගොනු කළ පැමිණිල්ලේ දෙවැනි කරුණ ලෙස දක්වා තිබෙන්නේ පියුමි හංසමාලි විසින් පසුගිය වසරේ දී මිලට ගත් සුඛෝපභෝගී නිවසයි. "මේ තැනැත්තිය පසුගිය වසරේ දී 'The Grand' මහල් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවසක් රුපියල් මිලියන 148කට මිලට ගෙන තියෙනවා. එහි මුදල් අවස්ථා 15ක දී පසුගිය වසරේදීම ගෙවා අවසන් කර තිබෙනවා. 2023 දෙසැම්බර් 12 ඇය මිලියන 40ක් අවසන් වාරිකය විදිහට ගෙවලා තියෙනවා," යනුවෙන් ඔහු පවසයි.
සම්බන්ධිත පෙර ලිපිය
 2000 ක්‍රීම් එක 33000 ට විකුණන පියුමි පෝසත් වුණ හැටි තාම රහසක්