
ප්‍රවීණ ගායක ධනපාල උඩවත්ත මහතාගේ පුත්‍රයා විසින් පැදවූ බවට සැක කෙරෙන මෝටර් රථයක් යතුරුපැදියක ගමන් ගත් අඹු සැමි යුවළක් සමඟ ගැටීමෙන් එම දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කහතුඩුව පොලිසිය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ධනපාල උඩවත්ත මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
වෑතර රෝහලේ සේවය කරන කාන්තාවක් තම සේවා ස්ථානයට වාර්තා කිරීම සඳහා සැමියා සමඟ යතුරුපැදියේ කහතුඩුව-කොළඹ මාර්ගයේ වෑතර දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අඹු සැමි යුවළට වෑතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ප්‍රථමාධාර ලබා දී ඇත. ඉන්පසුව වඩාත් බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව කළුබෝවිල රෝහල වෙත යොමු කර ඇති අතර, ඇගේ සැමියා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු විසින් තහවුරු කළ පරිදි පුද්ගලයාගේ පාද ස්ථාන කිහිපයකින් කැඩී ඇති බවත් සඳහන් වේ.
මෙම සිද්ධිය හා සම්බන්ධ මෝටර් රථයේ රියදුරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් පෙරේරා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.කේ. ජගත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන 97337 ඒකනායක සහ 104335 ශ්‍රීමාල් යන මහතුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් අනතුරට හේතු වූ සාධක පිළිබඳව සවිස්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, රියදුරු අධික වේගයෙන් රිය පැදවීම,
නොසැලකිලිමත් රිය පැදවීම ආදී චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවද වාර්තා වේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් නිරන්තර අධීක්ෂණයක් පවත්වාගෙන යන අතර, සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශවයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
රථවාහන අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන් මාර්ග නීති රීති පිළිපැදීම වැදගත් බවත්, විශේෂයෙන් මාර්ගවල අධික තදබදය පවතින වෙලාවන්හිදී අමතර සැලකිල්ලකින් සහ පරිස්සමින් වාහන පැදවීම අත්‍යවශ්‍ය බවත් පොලිසිය අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval