dematagoda-chaminda-call-peliyagoda

 සංවිධානාත්මක අපරාධකරුවෝ සිය නඩත්තු සදහා මෙන්ම ගෝලබාලයන්ගේ අවශ්‍යතා ඉටුකරලීම සඳහා නීති විරෝධී ක්‍රියා බොහෝමයක් සිදුකරති. මත්දුව්‍ය ජාවාරම ඉන් එකකි. අනෙක වන්නේ කප්පම් ගැනීමයි. අතමිට සරු විවිධ ව්‍යාපාරිකයන් මරා දමන බව හෝ s ඔවුන්ගේ දුවා දරුවන් මරා දමන බවට බිය වද්දමින් තර්ජනය කරමින් ඔවුහු කප්පම් ඉල්ලති. මින් බියට පත්වන ඇතැම් පුද්ගලයෝ මේ බව පොලිසියට හෝ නොදන්වා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවා

සිය ජීවිත මෙන්ම අඹු දරුවන්ගේ ජීවිතද රැක ගනිති. කප්පම් ගැනීමේ නිරත වන මෙවන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමද නිරන්තර සිදුවුවද ඔවුන් කප්පම් ගැනීම නම් නතර කර ඇති බවක් නම් නොපෙනේ.

නොයකුත් අපරාධකරුවන්ගේ නම් පාවිච්චි කරමින් විවිධ පුද්ගලයන් බියට පත් කොට මුදල් ලබාගත් පිරිස්ද මේ අතර වන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම සිදුවීමද එවන් ක්‍රියාවකි. සිද්ධිය වාර්තා වන්නේ පෑලියගොඩ පොලිස් වසමෙනි.තොග කඩ කිහිපයක හිමිකරුවකු වන හෙතෙම පෑලියගොඩ එළවළු වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඔහු දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් මේ වන විට ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඉකුත්දා ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණි.



"මම දෙමටගොඩ චමින්ද ඇතුළේ ඉඳන් කතා කරන්නේ. මම ගැන අහල තියෙනවානේ." දෙමටගොඩ චමින්ද කවුද යන්න මෙම ව්‍යාපාරිකයා හොඳින් දැන සිටි අතර එම ඇමතුමත් සමඟ ඔහු කිසියම් තැතිගැනීමකට ලක්විණි. "මගේ කොල්ලෙක් රට යවන්න ඕන. ඒකට රුපියල් ලක්ෂ හතර හමාරක් මදි, මට ඒ සල්ලි ටික හොයල දෙන්න ඕන."

එම ඇමතුමත් සමඟ බියට පත් එම ව්‍යාපාරිකයා එතැනින් එහාට සිය ජංගම දුරකථනය විසන්ධි කරන්නට විණි. ඒ නැවතත් දෙමටගොඩ චමින්දගෙන් එවන් ඇමතුමක් නොලැබේ යන අදහසිනි.එහෙත් කප්පම්කරුවන් එතැනින් නතර නොවිණි. ඔවුන්ගේ ඊළඟ ඇමතුම හරහා සම්බන්ධ කරගන්නේ එම එළවළු ව්‍යාපාරිකයාගේම සොහොයුරියකි. ඇයද දෙයියන්දර පදිංචිකාරියකි. "මම දෙමටගොඩ චමින්ද ඇතුළේ ඉඳන් කතා කරන්නේ. අපි ඔයාගේ මල්ලිගෙන් පොඩි ගාණක් ඉල්ලුවා." "අපේ මල්ලි ළඟ එච්චර සල්ලි නැහැ."


"මොකද නැහැ කියන්නේ. ළඟදී බයිපාස් එකක් කරලා ඉන්ෂුවරන්ස් එකෙන් ලක්ෂ 15කුත් ගත්තනේ. අනික ලක්ෂ 70ක් දීලා ළඟදී කඩයකුත් ගත්තනේ. අපි ඒ සේරම දන්නවා. මොකද සල්ලි නැහැ කියන්නේ. එහෙම කළොත් අපි..." "හරි මම මල්ලිට කතා කරලා බලන්නම්." දුරකථනය විසන්ධි විණි. පසුව ඇය සිය සොහොයුරාට මේ බව දන්වා සිටි අතර එවිට ඔහුද පවසා තිබුණේ රුපියල් ලක්ෂ හතර හමාරක් ඉල්ලා දෙමටගොඩ චමින්දගෙන් තමාටද එවන් ඇමතුමක් ලැබුණු බවත් එහෙත් තමා එලෙස කප්පම් දීමට අකමැති බවත්ය.



කෙසේ වෙතත් එළවළු ව්‍යාපාරිකයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ තැන කප්පම්කරුවන් ඔහුගේ සොහොයුරිය සමඟ දිගින් දිගටම දුරකථන සංවාදවල නිරත වූ අතර අවසානයේ කප්පම් මුදල ලක්ෂ හතරහමාරේ සිට ලක්ෂ තුනහමාර දක්වා අඩුකර ගැනීමට ඇයට හැකිවිණි. එහෙත් ලක්ෂ තුනහමාරක්වත් කප්පම් ලෙස ගෙවීමට එළවළු ව්‍යාපාරිකයා කිසිසේත් කැමැති නොවිණි.


අවසානයේ මෙම සිදුවීම පැමිණිල්ලක් ලෙසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දෙනු ලැබූ අතර ඔහුගේ උපදෙස් මත එම පැමිණිල්ල විමර්ශනය කිරීම බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වෙත පැවරිණි.

ඒ අනුව නැවත එළවළු ව්‍යාපාරිකයා කැඳවූ සහකාර පොලිස් අධිකාර්වරයා ඔහුගේ පැමිණිල්ලට සාවධානව ඇහුම්කන් දී ඔහුට තර්ජනය සිදුකරන දෙමටගොඩ චමින්ද නමැති කප්පම්කරු කොටුකර ගැනීමට විමර්ශන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා වෙත පවරන්නට විණි. විමර්ශන ඇරැඹුණේ එලෙසිනි. මෙයාලා සල්ලි දාන්න කියලා බැංකු ගිණුමක අංකයක් දෙනවා. ඒකට සල්ලි දාන්න කලින් බැංකුවට ගිහින් සල්ලි ඩිපෝසිට් කරන ෆෝර්ම් එක පුරවලා වස්ඇප් හරහා එයාලට යැව්වට පස්සේ තමයි එකවුන්ට් එකට සල්ලි දාන්න කියන්නේ.

අපි එහෙම දුන්න ෆෝන් නම්බරේ අරගෙන ඒකට විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තා. ඒකට එස්.ටී.එෆ්. එකේ දත්ත විශ්ලේෂණ අංශයේ එස්.අයි. කහඳවත් සම්බන්ධ වුණා.


ඒ දත්ත ඔස්සේ විමර්ශනය කරන කොට අපිට පෙනුණා ඒ දුරකථනය තියෙන්නේ දෙයියන්දර පැත්තේ කියලා. එතකොට අපිට මතක් වුණා මේ ව්‍යාපාරිකයාගේ අක්කා පදිංචි වෙලා ඉන්නෙත් දෙයියන්දර නේද කියලා. අපි ඒ කාන්තාව සම්බන්ධ කරගෙන ඇහැව්වා ඔය වගේ සිද්ධිවලට ගෑවුණු කවුරුහරි දෙයියන්දර ඉන්නවාද කියලා. එතකොට ඒ කාන්තාව කිව්වා මීට කලින් ඔය වගේ කප්පම් සිද්ධියකට පොලිසියට අහුවෙලා



හිරේ ගිය කෙනෙක් නම් අපේ ගෙවල් හතර පහකට එහායින් ඉන්නවා. එයා නම් දැන් ගෙදර ඇවිත් ඉන්නේ කියලා.විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය එම පුද්ගලයා වෙත එල්ල විය.ඒ අනුව පොලිස් පරීක්ෂක ලින්ටන් ඇතුළු කණ්ඩායමක් එදිනම රාත්‍රියේ දෙයියන්දර බලා පිටත්ව ගියහ. මධ්‍යම රාත්‍රිය වන විට නිලධාරීන්ට දෙයියන්දර සැකකරුගේ නිවෙස වැටලීමට හැකිවිය. පොලිසිය සිය නිවෙස වටලා ඇති බව දත් සැකකරු පිටුපස දොරින් පලායෑමට උත්සුක වුවද එය වළකා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

පුද්ගලයන් දෙදෙනකු එම නිවෙස තුළ රැඳී සිටි අතර ඉන් එක් අයකු සන්තකයේ රිවෝල්වරයක් සහ පතරොම් කිහිපයක්ද අනෙක් පුද්ගලයා සන්තකයේ ගල් කටස් තුවක්කුවක් සමඟ පතරොම් 10ක්ද තිබී නිලධාර්න් සිය භාරයට ගත්තේය. එමෙන්ම ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ජංගම දුරකථනයක්ද සොයා ගැනුණු අතර එම දුරකථනය එළවළු ව්‍යාපාරිකයාට සහ ඔහුගේ සොහොයුරියට කප්පම් ඉල්ලමින් තර්ජනය කිර්මට යොදාගත් දුරකථනය බවට තහවුරු කරගත හැකි විය. ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඉන් එක් පුද්ගලයකු දෙයියන්දර ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව එළවළු ව්‍යාපාරිකයාට මෙලෙස මුදල් ඉල්ලා අනෙකා තර්ජනය කර ඇති බවත්ය. අනෙක් පුද්ගලයා තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි. ඔහු විවාහ වී සිටින්නේ ගුරුවරියක් සමඟිනි.


මේ දෙයියන්දර පදිංචි සැකකරු ඔය එළවළු ව්‍යාපාරිකයා ගැන එයාලගේ පවුල ගැන තොරතුරු දන්නවා. මොකද සේරම දෙයියන්දර පදිංචිකාරයෝනේ. ඒ තොරතුරු එයාගේ යාළුවට දීලා දෙමටගොඩ චමින්දගේ නම විකුණලා ව්‍යාපාරිකයා බය කරලා ලක්ෂ හතර හමාර ගන්න තමයි මෙයාලා උත්සාහ කළේ.


විමර්ශන නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව මෙලෙස කප්පම් ඉල්ලූ පැමිණිලි 4ක් දෙයියන්දර පොලිසියටද පැමිණිල්ලක් මාරවිල පොලිසියට, අක්මීමන සහ ඇල්පිටිය පොලිසියවලටද එවන් පැමිණිලි දෙකක්ද ලැxඇති බවත් විමර්ශනයේදී හෙළිවූ බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කීය. ඇල්පිටියේ හඳහන් බලන කෙනෙක්ට මෙහෙම තර්ජනය කරලා එයාගේ දරුව මරනවා කියලා ලක්ෂ 35ක් ඉල්ලලා

තිබුණා. මේ හඳහන් කරන පුද්ගලයා ළඟට මේ සැකකරුවකු වැඩක් කරගන්න ගිහින්. ඒ මනුස්සයාගේ දුරකථන අංකය අරගෙන පස්සේ තමයි මෙහෙම තර්ජනය කරලා තියෙන්නේ. ඒකට මේගොල්ලො පාවිච්චි කරලා තිබුණේ කරන්දෙණියේ සුද්දා කියන පාතාලකරුගේ නම. එහෙම කියලා බය කරලා තමයි ලක්ෂ 35ක් ඉල්ලලා තිබුණේ. කොහොම හරි ගාණ ලක්ෂ තුනහමාරකට අඩු කරගෙන ඒකෙන් ලක්ෂ දෙකක් මේ සැකකරුගේ එකවුන්ට් එකට දාලා තිබුණා. අනිත් එකහමාර සුමාන දෙකකින් දෙන්නම් කියලා.


සැකකරුවන්ගෙන් එක්කෙනෙක් තමයි ඔය සල්ලි භාග තියන පුද්ගලයන්ගේ විස්තර හොයාගෙන ගෙවල් දොරවල්, දරුවන්ගේ නම් ගම් පවා සොයාගෙන ඒ පළාතේ ප්‍රසිද්ධ අපරාධකාරයෙක්ගේ නම් පාවිච්චි කරලා ව්‍යාපාරිකයන්ට තර්ජනය කරලා ඔහොම සල්ලි ගන්නේ, පෑලියගොඩ ව්‍යාපාරිකයාට තර්ජනය කළේ දෙමටගොඩ චමින්ද කියලා. චමින්ද දන්නෙත් නැතිව ඇති ඕක. ඔන්න ඔහොම එක එක්කෙනාගේ නම් පාවිච්චි කරලා තමයි මෙයාලා දෙන්නා මේ කප්පම් මුදල් ගන්නේ. ඒ නම්වලට තියෙන බයටම සමහරු මෙයාලට සල්ලි දීලා තියෙනවා.විමර්ශන නිලධාරියා අවධාරණය කළේය.සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කීර්ති මේන්ඩිස්