deshabandu-police-arrest

තමාව අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කරන ලද නියෝගයට එරෙහිව දේශබන්දු තෙන්නකොන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධ තීන්දුව අද (මාර්තු 17 වැනිදා) නිකුත් කිරීමට නියමිතව ඇත.

අද (17) වාර්තාවූයේ මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඒ මහතාගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති බවයි.

එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.මෙමගින් ඔහු අල්ලාගැනීමට දරන වෑයම තවත් කල්යවාගැනීම අරමුණු කරගෙන ඇත.


ධුරයේ වැඩ අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්කොන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර අදට දින 18ක් ගතව තිබේ.
එම කාලසීමාව තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු සිටින ස්ථානයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවූයේ නැත.

එසේ තිබියදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස (මාර්තු 11 වැනිදා) විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේ ය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් (මාර්තු 11 වැනිදා) අධිකරණයට කියා සිටියේ, පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.


ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබිණි.

තමාව අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කරන ලද නියෝගයට එරෙහිව දේශබන්දු තෙන්නකොන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම සම්බන්ධ තීන්දුව අද (මාර්තු 17 වැනිදා) නිකුත් කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිතුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.


ඒ අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇතිකර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම රීට් පෙත්සම මාර්තු 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාස නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දේශබන්දුගේ බිරිය හා පුතු නිවසේදී ප්‍රශ්න කළ නමුත් ඔවුන් කී දේවල් හෝ ඒ ඔස්සේ දේශබන්දු අල්ලාගැනීමට අවස්ථාවක් ලද බවක් පොලිසිය නොකියා සඟවා ඇත.
එහෙත් පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්කොන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 6ක් වැඩිදුර විමර්ශන කරමින් ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.