deshabandus-petition-rejected-permission-to-arrest


2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබේ.


​පෙත්සම විභාගයට ගත්තේද නැති අතර දේශබන්දුට රු 150000 ක ගාස්තුවක් උසාවි කාලය  වෙනුවෙන් ගෙවන ලෙසද දන්වා ඇත.ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට පූර්ණ අවසරය පොලිසියට හිමිව ඇත.
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටියේ ප්‍රවීණ නීතීඥයෙකු වන  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය.
ඔහු මින් පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා තිබුණි.සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදි ලෙසද කියා තිබූ අතර අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් ‘පෙත්සම්කරුට කෙළින්ම අධිකරණයට ගිහින් පෙනීසිට ප්‍රකාශයක් දෙන්න බැරිද?’ යනුවෙන් විමසා තිබුණී.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේකියා තිබුනේ

‘පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනි.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මගහැර සැඟවිලා සිටිනවා. ඔහු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහායත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වන විට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර ගංගානි මාවතේ පිහිටි නිවස පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27 වැනිදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයන් නොමැති බව අනාවරණ වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනි… මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි….’



‘2023 දෙසැම්බර් මස 31 වැනිදා රාත්‍රී 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කේ.ඩී.එච්. වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන්දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැලෑනේ පිහිටි අදාළ හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණ වී තිබෙනවා. එම අවස්ථාවේදී ‘‍යුක්තිය’‍ මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩිතැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාස නිලධාරීන් දෙදෙනකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයකු මරණයට පත්වුණා.

වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනකු සිටියා. මෙසේ පලාගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර, තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලු‍ දෙනාගේ රාජකාරි ජංගම දුරකතන වසාදමා තිබුණා. පසුව පොලිස් නිලධාරීන් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැකකටයුතු තත්ත්වයක්. වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසුකරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යනුකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ.
ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ….’

‘ස්වාමීනි, මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩිතැබීමට ලක්වූ අ 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවැති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනීගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔවුන් තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි ‘‍පැරා මිලටරි’‍ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද….?’

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර  අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය අද17 වැනිදා ප්‍රකාශයට පත්කරන ලදි.
ඉදිරි දින වලදී අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇත.