
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය, ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඊයේ (17) නියම කළේය.
සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ 'ඩබ්ලිව් 15' හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ දී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළවයි මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. මාතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත්වරයා තමන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය, රුපියල් 1,05,025/-ක නඩු ගාස්තුවක් ගෙවීමට ද දේශබන්දු තෙන්නකෝන් මහතාට නියම කළේය.
පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටින.
පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ පෙරවරුවේ පෙත්සම කැඳවිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පෙත්සමට පාදක වූ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුව අද දින අභියාචනාධිකරණයට ලැබී ඇති හෙයින් මෙම නියෝගය කල් දැමීමට ඉල්ලීමක් කිරීම සඳහා මෝසමක් ඉදිරිපත් කර ඇතැයි කීය.
මෙම සිද්ධියටම සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවට නීතිපතිවරයා පොරොන්දුවක් දී ඇතැයි කී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ පිළිබඳ පොලිස් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කර ඇතැයි ද පෙන්වා දුන්නේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් මාතර සිදුවූ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හයදෙනකු විමර්ශත අවසන් වනතුරු අත්අඩංගුවට නොගන්නා ලෙස දෙපාර්ශවයේ නිතීඥවරුන් අභියාචනාධිකරණයේ දී එකගතාවක් ඇතිකරගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඊයේ (16) දින නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම නිවේදනය මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ බවත් පවසමින් එම මාධ්‍ය නිවේදනය නිරීක්‍ෂණය කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම එකගතාව ඇතිකරගෙන මාස තුනකට ආසන්න කාලයක් ගතවීමට ආසන්නව තිබිය දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදනයක් මගින් හදිසියේ ඒ පිළිබඳ ප්‍රචාරය කිරීම අද (17) දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත මෙම නියෝගයට බලපෑමක් කිරීමේ අරමුණකින් කළා ද? යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි කී දිලීප පීරිස් මහතා පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කර ඇති මෙම මෝසමේ යටි අරමුණ පෙත්සම සම්බන්ධ නියෝගය කල් දමා ගැනීම බවත් පැවසීය.
පොලිස් මාධ්‍ය නිවේදනයේ සඳහන් තොරතුරු සම්පූර්ණයෙන්ම වැරැදි සහගත හෙයින් මෝසම සම්බන්ධයෙන් කටයුතු නොකර පෙත්සම සම්බන්ධ නියෝගය අද දිනයේදීම ප්‍රකාශයට පත් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියේය.
පොලිස් මාධ්‍ය නිවේදනය විවෘත අධිකරණයේ අධ්‍යයනය කළ වැඩබලන සභාපති විනිසුරුවරයා, මාධ්‍ය නිවේදනයේ සඳහන් ආකාරයේ නියෝගයක් තම අධිකරණයෙන් ලබා දී නොමැති බවට අවධාරණය කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගනිමින් නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල් තබන්නැයි මෝසමක් මගින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරිම ආරම්භ කළේය.
ඒ අනුව පෙත්සමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහිර් මහතා, පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය අනුව මාතර මහේස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් වරෙන්තු නිකුත් කිරීම නීතියට පටහැනි බවය යන කරුණ බව පෙන්වා දුන්නේය.
තම සේවාදායකයාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට පෙර පළමුව තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහුට සිතාසි නිකුත් කළ යුතුව තිබූ බව පෙත්සම්කරුගේ නිතීඥවරයාගේ තර්කය බවත් එය පැහැර හැරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නීතියට සම්පූර්ණයෙන් පටහැනි බවත් සඳහන් කළ සභාපති විනිසුරු ලෆාර් තාහිර් මහතා, එහෙයින් එම නියෝගය වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඔහුගේ ප්‍රමුඛතම ඉල්ලීමක් බවත් පෙන්වා දුන්නේය.
නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතනයක ප්‍රධානියා වන පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොවන බවත් නීතියට අනුව ඔහු කටයුතු නොකිරීම බරපතළ වරදක් වනවා පමණක් නොව නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක් ද වන බව පෙන්වා දුන් සභාපති විනිසුරු ලෆාර් තාහිර් මහතා, අධිකරණ නියෝගයකට අවනත නොවී දින 18ක කාලයක් සැඟව සිටීමේ ඔහුගේ ක්‍රියාව හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටීමට හැකියාව ඇතැයි පෙන්වා දුන්නේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාවෙන් මහජන භාර මූලධර්මය සෘජුවම උල්ලංඝනය කිරීමක් වන බවත් අරගලයක් වැනි සිද්ධීන් යළි ඉස්මතු වීමට ඉඩ ඇති බවත් නීතියට ඉහළින් සිටින පුද්ගලයකු වශයෙන් පෙත්සම්කරු ක්‍රියා කර ඇති බවත් පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා, පොලිස්පතිවරයා වශයෙන් ඔහු නීතියේ ආධිපත්‍යයට මෙන්ම අධිකරණ නියෝගයන්ට ගරු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
යමකු අධිකරණයට පැමිණෙන විට පිරිසුදු දෑතින් පැමිණිය යුතු වුවත් පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට නොපැමිණි බව ඉතාම පැහැදිලි බවත් පෙත්සම්කරු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරීන් නීතියට පටහැනිව කටයුතු කිරිම සඳහා යොදා ගෙන ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇතැයි සඳහන් කළ සභාපති විනිසුරුවරයා, නඩුවට පාදක වූ සිද්ධිය වූ අවස්ථාවේ වැටලීම සම්බන්ධයෙන් බලප්‍රදේශයේ පොලිස්ථානාධිතිපතිවරයා හෝ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත් නොකර පෙත්සම්කරු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසී 'පැරා මිලිටරි' කණ්ඩායමක් ලෙස ප්‍රශ්නගත හෝටලයට වෙඩි තබා ඇති බව මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් කර ඇතැයි පෙන්වා දුන්නේය.
පොලිස් නිලධාරීන් සඳහා රජයෙන් නිකුත් කර ඇති ගිනි අවි නීති විරෝධී කටයුතු සඳහා භාවිත කර ඇති බවත් පෙත්සම්කරු යටතේ සිටි පොලිස් නිලධාරීන් නීතියට පටහැනි අන්දමින් අතුරු හමුදාවක් ලෙස යොදාගෙන ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේදී එම නිලධාරීන්ගේ රාජකාරි ජංගම දුරකථනයන් ක්‍රියාවිරහිත කර ඇති බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා, සිද්ධියේ දී තුවාල ලැබූ පුද්ගලයන් ළගම රෝහලට ගෙන නොයැම සැක කටයුතු බවත් සිද්ධියට අදාළ කිසිදු සටහනක් පොලිස් පොත්වල සටහන් කර නැති බවත් පෙන්වා දුන්නේය.
පෙත්සම්කරු නිර්දෝෂි පුද්ගලයකු නම් මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම තම අධිකරණයට සැක සහිත බවත් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව නීත්‍යනුකූල බවත් අවධාරණය කළ අභියාචනාධිකරණය, එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පොලිස්පතිවරයා වශයෙන් පෙත්සම්කරුගේ මෙම ක්‍රියාකලාපය නීතියේ ආධිපත්‍යයට කළ බලවත් නිගරුවක් බවත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරී ඇති පෙත්සම්කරු වැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මග හරිමින් කටයුතු කිරිම අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.
පොලිස්පතිවරයා වශයෙන් පෙත්සම්කරු අධිකරණ නියෝගයන්ට අවනත වී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් විය යුතු බව අධිකරණයේ මතය වන බවත් පුරවැසියකුට වරෙන්තුවක් නිකුත් කළා නම් මේ වන විට ඔහු අත්අඩංගුවට ඇති බවත් නීතියේ ආධිපත්‍යය සුරකින තැන ප්‍රධානියාගේ මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා, ඉදිරිපත් වූ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයන් ප්‍රදානය කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් සඳහන් කළේය.
මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යනුකූල බවත් පහළ අධිකරණ සතු ස්වාධීන නියෝග දීමේ අයිතියට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් අවධාරණය කළ සභාපති විනිසුරුවරයා, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්වයක් තිබුණේ නම් පෙත්සම්කරු පළමුවෙන්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට පැමිණිලි කිරීම බවත් අවධාරණය කළේය.
එහෙත් පෙත්සම්කරු නීතිමය මූලධර්මයන් අනුගමනය කළ බවක් නොපෙනෙන බවත් සමස්ත කරුණු විශ්ලේෂණය කිරීමේදී ඔහු පිරිසුදු දෑතින් මෙම අධිකරණයට පැමිණි බවක් පෙනී නොයන බව අවධාරණය කළ විනිසුරුවරයා, පෙත්සම්කරු ඉල්ලා ඇති අතුරු සහන ලබාදීම හා පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා ඉදිරිපත් කළ පෙත්සම නඩු ගාස්තුවට යටත් කර නිෂ්ප්‍රභ කළ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ අතර ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමටද නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval