How Deshabandu was denied bail today (20) - Full court report

විශේෂ අවධානයට ලක්ව තිබෙන එෆ්.15 හෝටලයට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ දින 20ක් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් සැඟවී සිටි 36 වන පොලිස්පතිවරයා වූ දේශබන්ධු තෙන්නකෝන් මහතා පසුගියදා අධිකරණයට භාරවී ඇප ඉල්ලීම සලකා බැලීම අද අධිකරණයේදී සිදුවූ අතර එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 03 දක්වා දුම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කර ඇත.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා තිබූ පසුබිමක ඔහු අධිකරණයට ඉදිරිපත් විය. සැකකරු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි විරෝධයක් එල්ල කළේය.

කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය දිනකට පසු අද දින සවස් වරුවේ ප්‍රකාශ කරන බවත්, ඒ අනුව සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය. ඒ අනුව, සැකකාර පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පසුදින සවස් වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

සමස්ත රටේම ප්‍රබල අවධානයක් යොමු වූ මෙම නඩු කටයුත්ත සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී සවස දෙකට කැඳවීමට සැලසුම් කර තිබුණි. අධිකරණ භූමියට ඇතුළත් වූ මාධ්‍යවේදීන්ට සවස 2.20 පමණ ප්‍රධාන නඩු කටයුත්තේ සැකකරු බවට පත්ව සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අධිකරණ සංකීර්ණයට පැමිණෙනු දැක ගත හැකි විය.

ඔහු අත් විලංගු සහිතව අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අතර, නිල් පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී නිල් පැහැති ටයි පටියක් ද පැළඳගෙන සිටියේය. විනාඩි පහ-අටක පමණ කාලසීමාවක් අත් විලංගු සහිතව ප්‍රධාන දේශන ශාලාව අසල රැඳී සිටි ඔහු, අනතුරුව පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් විසින් නඩු අසන කාමරයේ තිබෙන සිර මැදිරිය වෙත රැගෙන යන ලදී. එම අවස්ථාවේ අනෙකුත් නඩු කටයුතු සඳහා රැගෙන ආ සිරකරුවන් නොසිටි බැවින්, ඔවුන්ව එක් පැත්තකට සීමා කරමින් අනෙක් පැත්තේ පොලිස්පතිවරයා රඳවා තැබීමට කටයුතු කරන ලදී.


අද නඩුව ආරම්භයේදී පොලිස්පතිවරයා විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සම්බන්ධයෙන් වූ තීරණය ප්‍රකාශයට පත් කිරීම පමණක් මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරන ලදී. පිටු 12 කින් සමන්විත මෙම තීරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මුහුණේ ඉරියව්වලින් ඔහුගේ සියලු අපේක්ෂා භංගත්වයට පත් වී ඇති බව පැහැදිලිව දක්නට ලැබුණි. සවස් 2.45ට පමණ මෙම තීරණය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන් අනතුරුව තවත් විනාඩි 30ක පමණ කාලයක් අධිකරණ සංකීර්ණයේ අදාළ නෛතික කටයුතු සිදු කිරීමෙන් පසුව දේශබන්ධු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරය දක්වා රැගෙන යාමේ කටයුතු සිදු කෙරිණි.

පිටු 12 කින් සමන්විත නියෝගය ප්‍රකාශයට පත්කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය. එමෙන්ම ඔහු ප්‍රවාහනයේදී දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන ලෙසටත් මාතර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම අනුව, එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව අධිකරණයට පෙනී ගිය බවත්, එලෙස විමර්ශන අවසන් වී නොමැති අවස්ථාවක සැකකරු ඇප මත මුදා හැරීම මගින් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බවත් නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.


සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැඩි විරුද්ධත්වය දක්වා තිබියදීත් සහ දින විස්සක් තිස්සේ නීතියේ ඇසට වැලි ගසමින් සැඟවී සිටීමට සැකකරුට ආධාර අනුබල දුන් සියලු දෙනාටම එරෙහිව විමර්ශන පවත්වා නිසි නීතිමය පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කොට තිබියදී, එම කටයුතු අවසන් වන තුරු සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණයට නොහැකි බව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් විය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

"ස්වාමීනි, අද ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ඉතාම සතුටු වෙනවා. සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම රටේ නීතියේ ආධිපත්‍යයේ හොඳ ලකුණක්. මෙය මගේ වෘත්තීය ජීවිතයේ අසන්නට ලැබුණු හොඳම තීන්දුවක්. අධිකරණයට එන සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බයක් තිබිය නොහැක" යැයි පැවසීය.

"මෙම නඩු කටයුතු දෙක නීතියේ ආධිපත්‍යය සහ නීතිය අවභාවිතය ගැන කියවෙන නඩු දෙකක්. ස්වාමීනී, මම අද මේ අධිකරණයට පැමිණියේත් ලැජ්ජාවෙන් යැයි කිව යුතුය. මට අධිකරණයට එන්න සිදු වී ඇත්තේත් පොලිස් ආරක්ෂාව යටතේය. ස්වාමීනී, ඒක ලැජ්ජා විය යුතු කරුණක් නොවේද? ඒක අසාර්ථක රාජ්‍යයක සලකුණක්." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

"අධිකරණයේ නඩු අදින අයත් සිටිනවා. ඒවාට කාලය ගෙන සැකකරුවන් නිදහස් කළ ආකාරයත් අප දැක තිබෙනවා. මෙම නඩුවේදී කිසිසේත් එලෙස වීමට ඉඩ දෙන්න එපා. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා එක්ව විමර්ශන අවසන් කරලා මෙම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගත යුතුයි." යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියේය.


මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කරමින් අවධාරණය කර සිටියේ, පොලිස්පතිවරයා අධිකරණය මගහරිමින් දින විස්සක් තිස්සේ සැඟව සිටි ස්ථාන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙසටයි.

එමෙන්ම හෝකන්දර පිහිටි පොලිස්පතිවරයාගේ නිවසේ තිබී හමුවූ ජංගම දුරකථන දෙකක් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදුකර, එම දුරකථන හරහා සම්බන්ධ කරගත් පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අප්‍රේල් තුන් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා, විශේෂ ආරක්ෂාව යටතේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ ඉදිරි නඩු විභාගය සඳහා එදිනට නැවත අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත.