mujibar-rahman-speaks

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පෙම්වතුන් යුවළක් සිටින බවට සජබ මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය. ඔහු මේ ආණ්ඩුවේ විනයක් නැති බවට චෝදනා කළේය. ඔහු කළ හෙළිදරව්ව පහතින්

 “ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඥාති සම්බන්ධතා
නෑ කියලා.පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ නෝනයි මහත්තයයි මන්ත්‍රීවරු වෙලා හිටියේ නෑ.ආණ්ඩුව පාර්ලිමේන්තුවට නෝනයි මහත්තය ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තාත්තයි පුතාවයි පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේවා ඥාති සංග්‍රහයවල් නෙවෙයිද. ඒවගේම ආණ්ඩුව කවුරුත් නොකරපු දේකුත් කරලා තියෙනවා. පෙම්වතා සහ පෙම්වතියත් පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඒක කවුරුත් නොකරපු දෙයක්. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් ඡන්දේ ඉල්ලලා පරාජය වුණකෙනෙක්ට තානාපති ධූරයක් දීලා තියෙනවා.


ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මන්නාරම සුළං විදුලි බලාගාරය තමන්ගේ ළඟම හිතවතෙකුට ලබා දුන්නා…
ඒවගේම සතුට ආයතනයේ විගණනවාර්තා පරීක්ෂණ ටෙන්ඩරය ජනාධිපතිවරයාගේ උපදේශකවරයකුට ලබා දීලා තිබෙනවා. ඔය පුටුවෙහිටපු කලින් ජනාධිපතිවරුත් කලේ ඔය ටිකම තමයි. ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික වියදම් අඩුකරගෙන තිබෙනවා. නමුත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයාටනොහැකි වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වියදම අඩුකිරීම පමණක් නෙවෙයි ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියලා කියන්නේ. තමන් කරන කියන දේවල් තුළ විනිවිද භාවයක් තිබිය යුතුයි. නමුත් ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තක එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ.


ඒ වගේම ජනාධිපතිවරයා සමග විශ්වවිද්‍යාලයේ එකට කටයුතු කළ පුද්ගලයාට ලේකම් ධූරය පිරිනමා තිබෙනවා.මේව තමයි ඥාති සංග්‍රහයවල් කියන්න. මේක තමයි සියලුම ජනාධිපතිවරු සිදු කළේ. ඒ නිසා තවත් ජනතාව අන්දන්න සූදානම් වෙන්න එපා. ජනතාව ඇන්ඳිල්ලේ සීමාවක් තිබිය යුතුයි. පෙර පැවැති ආණ්ඩුගෙන ආ ක්‍රමයම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා ඥාති සංග්‍රහයවල් නෑ කියලා බොරු ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”