
පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ අද (21) පෙරවරුවේ සිට රැකියා විරහිත උපාධිධාරීන් විසින් පවත්වනු ලබන විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයට ඇතුලු වීමට උත්සාහ දැරීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
අද දින අයවැය සම්මත වන තෙක් දවස පුරා විරෝධතාවයේ නිරත වීමට රැකියා විරහිත උපාධිධාරීන් තීරණය කර ඇති අතර, පසුගිය දින පහක කාලය තුළ අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිමින් තම විරෝධය ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, මෙම විරෝධතාවය පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී විරෝධතාකරුවන් තම විරෝධතාවයේ නිරත වන බවයි.
අද පෙරවරුවේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ඇතුල්වීමට උත්සාහ දරන විට පොලිසිය විසින් එය වැළැක්වීමට කටයුතු කළ අතර, එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. මේ වන විට පොල්දූව මංසන්ධිය දැඩි කලබලකාරී ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දෙන ලෙසත්, උපාධිධාරීන් හට වයස් සීමා පනවා රැකියා කප්පාදු කිරීම් නතර කරන ලෙසත් ඉල්ලා සිටිමිනි. විරෝධතාකරුවන් ප්‍රකාශ කරන ආකාරයට, අද සවස අයවැය සම්මත වීමත් සමඟ මෙම විරෝධතාවය අවසන් කිරීමට නියමිතය.
මේ වන විට පොල්දූව මංසන්ධිය ආසන්නයේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රදේශයේ වාහන ගමනාගමනය අඩාල වී ඇත. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තාක් මෙම ප්‍රදේශයෙන් ඈත් වී ගමන් කිරීමටය.











Comments
Post a Comment
Your comment will be visible after approval