
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවර්යක ඛරපතළ ලෙස දූෂණය කළැයි කියන සිද්ධියේ සැකකරු හඳුනා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ පෙරෙට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණිම නිසා හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 24 වැනිදාට කල්තැබීමට නියම කළ අනුරාධපුර – මහේස්ත්‍රාන් නාලක සංජීව ජයසූරිය මහතා සැකකාර හිටපු යුද හමුදා සෙබළා එදින තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ඊයේ (17) නියෝග කළේය.
පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා එදින අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
මීට පෙර අවස්ථාවක රිමාන්ඩ් බාරයට පත් කර සිටි සැකකාර හිටපු යුද හමුදා සෙබළා නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාහු කරුණු දක්වමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා – අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම් දී ඇතත් ඇය අධිකරණයට පැමිණ නැතැයි දැනුම් දුන්හ. එහෙයින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව වෙනත් දිනයකට කල් තබන්නැයිද පැමිණිලිකාර වෛද්‍යවරිය එදින අධිකරණයට කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා බවද දැනුම් දුන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන 24 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින තෙක් රිමාන්ඩ් බාරයට පත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් යන මහත්වරු පෙනී සිටියහ. සැකකාර හිටපු යුද හමුදා සෙබළා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval