The reason the Myanmar earthquake, which is estimated to have killed 100,000 people, is so severe is the 'Sagaing Fault'

සිකුරාදා දින මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක දැවැන්ත භූමිකම්පාව රටවල් පහක දැවැන්ත විනාශයක් ඇති කර ඇත. මෙම භූමිකම්පාව භූ විද්‍යාඥයින් මින් ඉහත හඳුනාගෙන තිබෙන සගායිං දෝෂය නමැති විශාල භූගත පැලුමක් ආශ්‍රිතව සිදු වූ අතර එහි කම්පන මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය සහ චීනය යන රටවල දැනී ඇති අතර මරණ දසදහසේ සිට ලක්ෂයක් දක්වා අනුමාන කරන බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.මේ වන විට මියන්මාරයේ ජුන්ටා රජය වාරණයෙන් යුතුව සියල්ල වාර්තා කරන අතර ඔවුන් පවසන්නේ පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇති බව පමණි.

මියන්මාරයේ පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති පාෂාණවල විශාල පැල්මක් පවතින අතර එය රටේ බොහෝ ප්‍රදේශ හරහා විහිදී යයි. මෙම පැල්ම මියන්මාරයේ සගායිං නගරය ආසන්නයෙන් ගමන් කරන හෙයින් එය "සගායිං දෝෂය" ලෙස භූ විද්‍යාඥයින් නම් කොට ඇත. මෙම දෝෂය රටේ උතුරේ සිට දකුණට කිලෝමීටර් 1,200ක දුරක් පුරා විහිදී යයි.

සගායිං දෝෂය "ස්ට්‍රයික්-ස්ලිප්" වර්ගයේ දෝෂයක් ලෙස හඳුනාගෙන ඇත. එහි අර්ථය එහි දෙපස ඇති පාෂාණ ඉහළට හෝ පහළට නොව, තිරස් දිශාවකට එකිනෙකා පසුකරමින් ලිස්සා යාමයි. මෙය මේසයක් මත තබා ඇති පොත් දෙකක් එකිනෙකා අතරින් ලිස්සා යාමට සමාන කළ හැකිය.


මෙම පැල්ම අන්දමන් මුහුදේ සිට හිමාලය කඳු පාමුල දක්වා විහිදී ගොස් ඇති අතර එය පෘථිවියේ භූ තැටි චලනය හේතුවෙන් සෑදී ඇත. ඉන්දියානු තැටිය ඊසාන දිශාවට ගමන් කරමින්, සගායිං දෝෂය මත පීඩනය ඇති කරන අතර ඒ ආසන්නයේ පාෂාණ ලිස්සා යාමට හේතු වේ.

සගායිං දෝෂය හේතුවෙන් මියන්මාරයේ ප්‍රධාන භූමිකම්පා රැසක් සිදුවී ඇත. 2012 වසරේදී රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවක් මෙම ප්‍රදේශයේ වාර්තා විය. තවද, 1930 සිට 1956 කාලය තුළ සගායිං දෝෂය ඔස්සේ රික්ටර් මාපකයේ 7ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පා හයකට වැඩි ගණනක් සිදු වී ඇත.

සිකුරාදා පෙරවරු 11:50ට සිදු වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලතාවයක් පෙන්නුම් කළ අතර, මිනිත්තු 12කට පසුව රික්ටර් මාපකයේ 6.4ක පසු කම්පනයක් ද වාර්තා විය.

භූමිකම්පාව හේතුවෙන් මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ගොඩනැගිලි රැසක් විනාශයට පත් වී ඇත. ඒ අතර ඓතිහාසික රාජකීය මාළිගාවක් වන මැන්ඩලේ මාළිගාවේ කොටස්වලට සැලකිය යුතු හානි සිදුවී ඇත. තවද, පන්සල් රැසකට හානි සිදුව ඇති අතර සගායිං කලාපයේ සගායිං නගරයේ පිහිටි පාලමක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාර්තා වේ.

අගනුවර වන නයිපයිටාව් හැරුණු විට, කියුක්සේ, පයින් ඕ ල්වින් සහ ෂ්වෙබෝ යන ප්‍රදේශවලට භූමිකම්පාවේ ප්‍රබල කම්පන දැනී ඇත. වාර්තා වන පරිදි මෙම නගරවල ජනගහනය 50,000 ඉක්මවයි.


තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි ඉදිවෙමින් පැවති මහල් 30ක ගොඩනැගිල්ලක් භූමිකම්පාව හේතුවෙන් කඩා වැටී ඇත. මෙම ස්ථානයේ සේවකයින් 400ක් පමණ සේවයේ නිරත වූ අතර, ඔවුන් අතරින් 80 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර තිදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මුල් වාර්තාවල 43 ක් ගැන සඳහන් වුවත් සිය ගණනකගේ ජීවිත බැංකොක් අනතුරින් සිදුවන්නට ඇතැයි අනුමාන කර තිබේ.

දැවැන්ත විනාශය හේතුවෙන් තායිලන්ත අගමැති පිතොන්ග්ටාර්න් ෂිනවත්‍රා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
භූමිකම්පාවේ බලපෑම ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයේ නිරිතදිග ප්‍රදේශවලට ද දැනුණි. ඉන්දියාවේ කොල්කටා, ඉම්ෆාල්, මේඝාලය සහ නැගෙනහිර කාගෝ හිල් ප්‍රදේශවලට භූමිකම්පා කම්පන දැනුණු බව පීටීඅයි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණි.
බංග්ලාදේශයේ ඩකා, චිතගොං ඇතුළු බොහෝ ප්‍රදේශවල රික්ටර් මාපකයේ 7.3ක කම්පන වාර්තා විය.

මෙම රටවල් පහෙහිම විවිධ ප්‍රදේශවල සිය ගණනක් ජනතාව බියෙන් තම නිවෙස් හා කාර්යාල හැර දිව ගිය අතර, භූමිකම්පා තර්ජනය හේතුවෙන් මහත් භීතියකට පත්ව සිටිති.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, මෙම භූමිකම්පාවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව "රතු කාණ්ඩයට" ඇතුළත් කර ඇත. මෙම කාණ්ඩයේ ලක්ෂණය වන්නේ මරණ 10,000 සිට 100,000 දක්වා සිදුවිය හැකි බවයි. එම විශ්ලේෂණයට අනුව, මෙවැනි මරණ සංඛ්‍යාවක් සිදුවීමේ සම්භාවිතාව 34%ක් වන අතර, එය ඉහළම අගයක් ලෙස සලකනු ලැබේ.

මෙම භූමිකම්පාව මැද පෙරදිග සහ ආසියාවේ පසුගිය වසරවල සිදු වූ දැවැන්තම ස්වාභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස දැනටමත් සැලකෙන අතර, විශේෂඥයෝ තවදුරටත් එහි බලපෑම අධ්‍යයනය කරමින් සිටිති.