
පාර්ලිමේන්තුවේ පැවති වෙළෙඳ, වාණිජ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා පසුගිය රජය සමයේ සිදු වූ වංචා හා දූෂණ කිහිපයක් ගැන සඳහන් කරමින් පවසා තිබුනේ
සිරි සමන්ත භද්‍ර හිමියන් විසින් පවත්වා යන උමංදාව ග්‍රීන් හට් වෙළඳ ආයතනය පසුගිය රජය සමයේ ඇති කරගත් ගිවිසුම් අනුව පූර්ණ රජයේ අනුග්‍රහයෙන් ඉදිකිරමින් බිල් ගෙවමින් පවත්වා යන්නක් බවයි. මෙම ආයතනය පිහිටුවීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් ලංසු කැඳවූවද හිටපු ඇමතිවරයාට වාසිදායි ලංසුවක් තෝරා අක්‍රමිකතාවක් සිදුකර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.උමංදාවේ හාමුදුරුවන් ගෙවිය යුතු මාසික කුලිය දිගටම අමාත්‍යංශය මගින් ගෙවා ඇති බව ඔහු කීය.
තමන්ට එල්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවකක් පවත්වමින් "උමංදාව" නම් ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන්නට සමන්ත භද්‍ර හිමියන් කටයුතු කර තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී උමංදාව ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන "ග්‍රීන් හට්" සංකල්පය ගැන සමන්ත භද්‍ර හිමි අවධාරණය කළේ ඔවුන්ගේ වැඩ පිළිවෙළ කිසිසේත්ම බොරු හෝ මිනිසුන් රවටන ආකාරයේ එකක් නොවන බවයි. "අපි වැඩක් කළොත් ඒක හරියටම කළා," යනුවෙන් සමන්ත භද්‍ර හිමි සඳහන් කළහ.
සමන්ත භද්‍ර හිමි විස්තර කළ පරිදි, ඔවුන් ගිවිසුමක් අත්සන් කර ඇත්තේ 2023 දී සතොස ආයතනය සමඟ බවත්, එම ගිවිසුම අනුව මුදල් ගෙවා ඇති බවත් පැහැදිලි කළ අතර. මූලික තැන්පතුව වශයෙන් රුපියල් ලක්ෂ 10ක් තබා , සෑම මාසයකම ගිවිසුම් ප්‍රකාරව කුලී මුදල ලෙස රුපියල් 250,000ක් ගෙවීමට දෙපාර්ශවය එකඟ වූයේ යයි පෙන්වා දී තිබේ.
ඊට අමතරව විදුලි බිල්පත් වෙනම ගෙවා ඇති බව ද කී අතර 2021 දිනයක් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ සිදුව ඇති ප්‍රකාශය ගැන තමන් නොදන්නා බවත් උමංදාව හට් ඇරඹුනේ 2023 බවත් කියා තිබේ.
සමන්ත භද්‍ර හිමි මුදල් භාර ගැනීමේ කුවිතාන්සි පෙන්වමින් ලංකා සතොස සමාගමට ගෙවා ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 46ක් බව සඳහන් කළ අතර අමතරව තවමත් රුපියල් ලක්ෂ 10ක තැන්පතුවක් තබා ඇති බවත්, විදුලි බිල්පත් සියල්ල ගෙවා ඇති බවත් තහවුරු කළහ.
"අපි උමංදාව තුළින් අපට අවශ්‍ය කළේ ජාතියට පුනරුදයක්, අලුත් වැඩපිළිවෙළක්. මොකද මේ ජාතියට අලුත් වැඩපිළිවෙළක් නෑ. අදත් නෑ, හෙටත් නෑ. කරන්න කෙනෙකුත් නෑ," යනුවෙන් සමන්ත භද්‍ර හිමි පැවසූහ.
ආණ්ඩු පක්ෂයේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමාගේ පැහැදිලි කිරීමේ මෙසේ සඳහන් විය.
උමංදාව ග්‍රීන් හට් වෙළඳ ආයතනය පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී ආචි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මිලියන 28ක මිලක් ඉදිරිපත් කළ අතර, ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම මිලියන 34ක මිලක් ඉදිරිපත් කර ඇත. නමුත් තේරීම් කමිටු වාර්තාවේ ලීමා කන්ස්ට්‍රක්ෂන් සමාගමේ මිල මිලියන 73ක් ලෙස වෙනස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. කොන්ත්‍රාත්තුව ආචි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා දී ඇති අතර, ගිවිසුම අත්සන් කළ දිනම (2021-12-29) එකවර මිලියන 20ක් ගෙවා ඇති බවත්, මාසික කුලිය ලෙස රුපියල් 326,100ක් ගෙවිය යුතු වුවත්, එම කුලිය අමාත්‍යාංශය විසින් ගෙවා ඇති බවත් ඔහු හෙළි කළේය.
මේ ආකාරයට රජයේ මුදල් ගිවිසුම අත්සන්කරන දිනම ගෙවීම ගැටලුකාරී වූ අතර උමංදාවේ හාමුදුරුවන් ගෙවිය යුතු මාසික කුලිය දිගටම අමාත්‍යංශය මගින් ගෙවා ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කීය.
ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වමින් සමන්ත භද්‍ර හිමි තවදුරටත් සඳහන් කළේ හැම ආණ්ඩුවක්ම දේශපාලනික ක්‍රීඩා පමණක් කරන බවත්, රටේ ජනතාවගේ අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය වැනි කරුණු ගැන කිසිම රජයක් සැලකිලිමත් නොවන බවත්ය.
මේ හේතුව නිසා තමයි ඔවුන් කල්පනා කර ඇත්තේ ආණ්ඩුවක් සමඟ එකතු වී යම් වැඩක් කිරීමට බවත් පැවසීය.
සමන්ත භද්‍ර හිමි උමංදාව යටතේ විශාල ව්‍යාපෘතියක් සිදු කිරීමට අදහස් කරන බව පවසමින්, ඒ සඳහා රජයේ සහය අවශ්‍ය බව අවධාරණය කළේය. රෝහල් ව්‍යාපෘතිය දැනට නතර වී ඇති බවත්, ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රෝහලක් ඉදිකර ආණ්ඩුවට භාර දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් විය.
සමන්ත භද්‍ර හිමි අවසාන වශයෙන් මාධ්‍ය වෙත ආරාධනා කළේ නිසි පරීක්ෂාවකින් තොරව "මෝඩ වැඩ" නොකරන ලෙසයි. "බොරු වැඩ කරන්න එපා. ඔබතුමන්ලාට වැඩ කරන්න බැරි වුණාට, වැඩ කරන මිනිසුන්ට වෛර කරන්නත් එපා," යනුවෙන් සමන්ත භද්‍ර හිමි අවධාරණය කළේය.
පෙර ලිපිය
උමංදාව ග්‍රීන් හට් - ගොඩනැගිලි රෙන්ට් බිල පහුගිය රජය ගාණේ ගෙවලා
Comments
Post a Comment
Your comment will be visible after approval