Umandawa Green Hut - Building rent bill paid by the previous government

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා  පසුගිය රජය සමයේ සිදු වූ වංචා හා දූෂණ කිහිපයක් ගැන සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු පදනමට රුපියල් ලක්ෂ 52ක භාණ්ඩ ලබාගෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජොහාන් ප්‍රනාන්දු විසින් මැතිවරණවලදී දන්සැල් බෙදන්න භාවිතා කළ බවත්,
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරය දරන අවස්ථාවේ සතොස වී තොග ලබාගෙන රුපියල් කෝටි හයක් වංචා කළ බවත්
උමංදාව ග්‍රීන් හට් වෙළඳ ආයතනය වෙත වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ බිම් මහලේ කොටසක් උප බදු දීමේදී සිදු වූ දැවැන්ත වංචාවක් ගැනත් ඔහු පැවසීය.


උමංදාව ග්‍රීන් හට් වෙළඳ ආයතනය පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී ආචි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මිලියන 28ක මිලක් ඉදිරිපත් කළ අතර, ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම මිලියන 34ක මිලක් ඉදිරිපත් කර ඇත. නමුත් තේරීම් කමිටු වාර්තාවේ ලීමා කන්ස්ට්‍රක්ෂන් සමාගමේ මිල මිලියන 73ක් ලෙස වෙනස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. කොන්ත්‍රාත්තුව ආචි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා දී ඇති අතර, ගිවිසුම අත්සන් කළ දිනම (2021-12-29) එකවර මිලියන 20ක් ගෙවා ඇති බවත්, මාසික කුලිය ලෙස රුපියල් 326,100ක් ගෙවිය යුතු වුවත්, එම කුලිය අමාත්‍යාංශය විසින් ගෙවා ඇති බවත් ඔහු හෙළි කළේය.
මේ ආකාරයට රජයේ මුදල් ගිවිසුම අත්සන්කරන දිනම ගෙවීම ගැටලුකාරී වූ අතර උමංදාවේ හාමුදුරුවන් ගෙවිය යුතු මාසික කුලිය දිගටම අමාත්‍යංශය මගින් ගෙවා ඇති බව ඔහු කීය.

එමෙන්ම, සමූපකාර ක්ෂේත්‍රයේද වංචා සිදු වී ඇති බව පෙන්වා දෙමින් සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අසූ පන් ලක්ෂයක් සාමාජිකයින් සිටින විශාලතම ක්ෂේත්‍රය බවයි. ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ 2013 වසරේදී මැදිරිගිරිය විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් මිලදී ගත් කේ.ඩී.එච් වෑන් රථයක් වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වුවත්, රුපියල් ලක්ෂ 88කට මිලදී ගෙන ඇති බවයි. මෙම මිලදී ගැනීම සඳහා ආයතන තුනකින් මිල ගණන් කැඳවා ඇතත්, ඉන් ආයතන දෙකක් බොරු, ව්‍යාජ නම් සහිත ඒවා බව ඔහු චෝදනා කළේය.