
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසල සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය "බාලේ මල්ලි" යන අපරාධ ලෝක නායකයා ලෙස හඳුන්වන ෂෙහාන් සත්සර නම් පුද්ගලයා විසින් මෙහෙයවනු ලැබ ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඔහු දැනට ඩුබායි හි සැඟවී සිටින බව වාර්තා වේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයින් වන්නේ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ක් වූ පසිඳු තාරක සහ යොමේෂ් නදීෂාන් යන දෙදෙනා ය. කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී ඔවුන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇත.
ඔවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ලුහුබඳිනු ලැබ ඇත. සැකකරුවන් විසින් යතුරුපැදියට වෑන් රථය හප්පා, තරුණයින් දෙදෙනාට වෙඩි තබා, සිද්ධි ස්ථානයෙන් පලායන ලදී. ප්‍රහාරයට යොදාගත් වෑන් රථය පසුව මද දුරක් ඈතින් ගිනි තබා තිබී සොයාගෙන ඇත.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම ඝාතනය සිදුවී ඇත. ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදුණු තරුණයින් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි අසල්වැසි මිතුරන් වන අවුරුදු 28ක් වූ යොමේෂ් නදීෂාන් හා අවුරුදු 29ක් වූ පසිඳු තාරක නම් දෙදෙනායි. ඔවුන් දෙදෙනාට දෙවුන්දර ප්‍රදේශයේ නිවසක පැවැති මිතුරෙකුගේ උපන්දින සාදයකට ඊයේ ආරාධනා ලැබී තිබූ නමුත්, ඔවුන් එම නිවසට නොගොස් ඒ අසල පිහිටි තවත් මිතුරෙකුගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා තිබේ.
එම නිවස අසලටද වෙඩික්කරුවන්ගේ වෑන් රථය පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබුණි. වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ තරුණයින් දෙදෙනා මත්පැන් සාදය අවසන් වීමෙන් පසු නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීය.
තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය පසුපසින් වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරුවන් එය යතුරුපැදියට හප්පා, අනතුරුව වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේදී ටී-56 උණ්ඩ කොපු 39ක් හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 03ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය, වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි දෙවුන්දර වරාය මාර්ගයේ ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. එම වෑන් රථය තුළ ටී-56 ගිනි අවි සඳහා භාවිතා කරන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වූ බව පොලිසිය පවසයි.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය විසින් අද අළුයම සිදු කර ඇත.
ඩුබායි හි සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් "බාලේ මල්ලි" නම් අපරාධකරු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, මියගිය යොමේෂ් නදීෂාන් යන අයට ඔහු මීට පෙර "ඔය මුළු පවුලම මරනවා" ලෙස දුරකථන පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.
"බාලේ මල්ලි" සහ මෙම තරුණයින් දෙදෙනා අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටද පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු දේහයන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාර දීමට නියමිතය.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 26කින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

Comments
Post a Comment
Your comment will be visible after approval