ananda-wijepala-a-meeting-with-the-senadhipathi

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ව්‍යාජ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත නිල ලිපියක් යොමු කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී. දීගායු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මඟින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවූ බවට චිත්‍රණය කරන ව්‍යාජ හමුවක් පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.


ලිපියේ සඳහන් වන ආකාරයට, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති මහතා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වීම නිරීක්ෂණය කර ඇත. මෙම ව්‍යාජ ප්‍රවෘත්තිවල, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති මහතා හමු වූ බවට හැඟවෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශය පැහැදිලි කර ඇත.

එම ලිපියෙහි අවධාරණය කර ඇති පරිදි, මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර, කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මහතා හමු වී නොමැති බව තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති දිගින් දිගටම ප්‍රචාරය වීම හේතුවෙන්
අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මෙන්ම සමස්ත රජයේ කීර්ති නාමයට හා ජනතා විශ්වාසයට හානි සිදුවන බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.

ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙවැනි සාවද්‍ය තොරතුරු දිගින් දිගටම සමාජගත වීම මඟින් සත්‍ය තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වන බවත්, චේතනාන්විතව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සමාජයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවත්ය. මේ හේතුවෙන්, අදාළ ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම හරහා රජයේ ප්‍රතිරූපයට පමණක් නොව, මහජන විශ්වාසයට ද බරපතල හානියක් සිදුවන බැවින්, මෙවැනි ක්‍රියා නවතා ලීමට පියවර ගත යුතු බව අමාත්‍යාංශයේ මතය වී ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වැළකී සිටින ලෙසත්, තොරතුරු ලබා ගැනීමේදී විශ්වසනීය මූලාශ්‍ර පමණක් භාවිතා කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.