
විවාහක කාන්තාවකගේ අනියම් ප්රේමවන්තයාව සිටිමින් ඇයගේ බාලවයස්කාර දියණිය දූෂණය කරන ලදැයි අධිචෝදනා ලබා සිටි පුද්ගලයකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්රමසේකර මහත්මිය බරපතල වැඩ සහිත වසර 18ක සිරදඬුවමක් නියම කළාය. මෙලෙස බරපතළ සහිත සිරදඬුවම් නියම වූයේ හලාවත, විල්පත පදිංචි වර්ණකුලසූරිය සුසන්ත මංජුල නොහොත් වර්ණකුලසූරිය සුසන් මංජුල ලෝව් නමැත්තාටය.
2011 ජනවාරි පළමුවන දිනත් 2011 දෙසැම්බර් 31 දිනත් අතර කාලයේදී හලාවත විජයකටුපතදී වයස අවුරුදු 16ට අඩු දැරියක් දූෂණය කිරීමෙන් දඬුවම් ලැබිය යුතු ස්ත්‍රී දූෂණයක් සිදුකරන ලදැයි චුදිත අධිචෝදනා ලබා සිටියේය. සිද්ධිය වන විට වින්දිත දැරියගේ වයස අවුරුදු 13ක් බවද අධිකරණයේදී අනාවරණය විය.
මේ වන විට චුදිතගේ වයස අවුරුදු 57ක් බවත් ඔහුට අවුරුදු 27ක පුතෙකු සහ අවුරුදු 21 හා අවුරුදු 14 වයස්වල දියණියන් දෙදෙනෙකු සිටින බවත් නඩු විභාගයේදී කරුණු ඉදිරිපත් විය.
පැමිණිල්ල චුදිතට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව කියා සිටි මහාධිකරණ විනිසුරු නයෝමි වික්රමසේකර මහත්මිය චුදිත අධිචෝදනාවට වරදකරු කරමින් වසර 18ක බරවැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් ද නියම කළාය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කර වින්දිත තැනැත්තියට රුපියල් 600,000ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කළාය. චුදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ උපදෙස් මත දමිත් වර්ණකුලසූරිය මහතා ද පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පැතුම් විජේසූරිය මහතා ද පෙනී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval