millionaire-sanjeewa-who-was-hiding-deshabandu-thalawathagoda-returns-to-court

වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් පොලිස් නිලධාරියකු මිය යාමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවා තැබීමට උදව් කළ ගිංතොට පොල්වත්තගේ සුරංග සංජීව වීරසූරිය ට හා දේශබන්දු දෙන්නාට ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (21) නොතීසි නිකුත් කළේය.



මෙලෙස නොතීසි නිකුත් වූයේ මෙම සිද්ධියේ පළමු සැකකාර ගංගානි උද්‍යානය, 07 වන පටුමග, හෝකන්දර පදිංචි පොලිස්පති ටී. එම්. ඩබ්. දේශබන්දු තෙන්නකෝන් සහ ගිංතොට පොල්වත්තගේ සුරංග සංජීව වීරසූරිය යන අයටය.

තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි සුරංග සංජීව වීරසූරිය මහතා
තම මෝටර් රථ යොදාගනිමින් හිටපු පොලිස්පතිවරයාට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවටද සාක්ෂි ලැබී ඇත.
පොලිස් කොස්තාපල්වරයෙක් සහ කෝටිපති ව්‍යාපාරිකයා යන දෙන්නා පමණක් මෙම මෙහෙයුමට සම්බන්ධව ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව අනාවරණය වේ.විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ සති තුනක් පමණ දේශබන්දු තෙන්නකෝන් මහතා නීතියෙන් සැඟවී සිටීමට සහාය දී තිබුණි.

මෙම කරුණු මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරිකයා දෙවතාවක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් වී තිබේ. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව සිටියදී, මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව, වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා රෝහලට පැමිණ සැකකරුගේ තත්ත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඇප ලබා දී නිදහස්ව ඇත.ඊයේ අධිකරණයේදී ඔහුට නැවත පෙනී සිටින ලෙස නියෝගය කෙරිණි.

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාව සමඟ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය.


"ස්වාමීනි, මෙහි පළමු සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය, රක්ෂිත බන්ධනාගාරගත කර සිට අධිකරණයෙන් ඇප ලබාදුන්නේ ඉකුත් 10 වැනිදා. පළමු සැකකරුට ඇප ලබා දෙන අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ ඔහු ඇප ලබාගෙන සිටින බැවින් සැකකරු අධිකරණ භූමියෙන් පිටව යන තෙක් ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළා. මා ඒ අවස්ථාවේදීම ඊට විරෝධය පළ කළා. ස්වාමීනි, එහි දී අධිකරණයෙන් දන්වා සිටියේ සැකකරුගේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, එම සැකකරු අනෙක් සැකකරුවන්ට මෙන්ම කටයුතු කළ යුතු බවත් යන්නයි.

එසේ අධිකරණය මඟින් නියෝග කර තිබිය දී එම නියෝගය නොසලකා හරිමින් පළමු සැකකරු ඉකුත් 10 වැනිදා ඇප ලබාගැනීමෙන් පසුව අංක කේඑක්ස් 5353 දරන බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුදු පැහැති කාර් රථයකින් අධිකරණ භූමියෙන් පිටව ගියා. මෙම සැකකරුට මුල් අවස්ථාවේ දී අධිකරණය මගහැර සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා වන ගිංතොට පොල්වත්තගේ සුරංග සංජීව වීරසූරිය යන අය ද සිටි බවට නිරීක්ෂණය වුණා. මෙම පුද්ගලයා දේශබන්දු තෙන්නකෝන් යන සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සිද්ධියට අදාළ නඩුවේ පළමු සැකකරු. මේ සැකකරු සමඟ තමයි දේශබන්දු තෙන්නකෝන් යන අය බීඑම්ඩබ්ලිව් එකේ ගියේ. මොවුන් ගිය ඒ වාහනය අධිකරණ භූමියෙන් පිටව යන අයුරු එදින ප්‍රසිද්ධ මාධ්‍යයෙන්ද ප්‍රචාරය වුණා.

එම වාහනය යක්කල පදිංචි රෝෂාන් ලක්සිත කරුණාරත්න යන අයගේ නමට ලියාපදිංචි වී ඇති බවට කරුණු අනාවරණය වුණා. ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරුට ඇප ලබාදෙන අවස්ථාවේ දී අධිකරණයෙන් ලබා දෙන නියෝග නොසලකා ඊට පටහැණිව කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වෙනවා. ඒ නිසා මේ ගැන අධිකරණයට කරුණු කියන්න අවශ්‍යයි. ඒ හේතුවෙන් මෙහි පළමු සැකකරුට සහ ඔහුට ආධාර අනුබල දුන් අනෙක් තැනැත්තාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එච්. එස්. කරුණාතිලක මහතා මෙම සිද්ධියට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් නඩුව කැඳවන ලෙසට අධිකරණයෙන් ඊයේ (21) ඉල්ලීය.

ඒ අනුව, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු ඉදිරිපත් කිරීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පළමු සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට සහ ඔහුට අධිකරණ භූමියෙන් පිටව යෑමට අධාර අනුබල දුන් අනෙක් තැනැත්තාට නොතීසි නිකුත් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.


වැලිගම පැලෑන w 15 හෝටලය ඉදිරිපිට දී 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පොලිසියේ නිලධාරීන් විසින් අපරාධ කල්ලියක් යැයි සිතා සිදු කළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර සැරයන්වරයෙක් තුවාල ලැබ තිබුණි.


උප පොලිස් පරීක්ෂකවරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ඉකුත් පෙබරවාරි 27 වැනිදා ප්‍රකාශ කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා, සැකකාර පොලිස්පති පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි.


ඒ අනුව, මෙම සිද්ධියේ සැකකාර පොලිස් නිලධාරීන් 06 දෙනකු ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා අධිකරණයට භාරවූ අතර, ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණ නියෝග නිකුත් වී තිබිණි.

මෙලෙස ඇප මත මුදා හැරුණේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුනි යුවේන් ඇන්සලම් ද සිල්වා, පොලිස් පරීක්ෂක හෙට්ටි බස්නායක රාළලාගේ මහේෂ් රුවන් දුනුසිංහ, උප පොලිස් පරීක්ෂක කිල්ලපාන ලියනගේ රොෂාන් මදුරංග, පොලිස් කොස්තාපල්වරුන් වන අමරකෝන් විදානගමගේ ප්‍රසන්න කුමාර, ජයම්පත් ආරච්චිගේ සුපුන් ප්‍රියශාන්, අමරසිංහ කලුආරච්චිගේ දුලිප් ගිහාන් පියතිස්ස සහ සහකාර පොලිස් අධිකාරී හෙට්ටිආරච්චිගේ නෙවිල් වර්ජින්ටන් ද සිල්වා යන පොලිස් නිලධාරීන්ය.


මෙම සිද්ධියේ පළමු සැකකරු වන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, තෙවැනි සැකකරු පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ජගත් නිශාත්ත (මෙම සැකකරු විදෙස් ගතව ඇත) යන අයවලුන්ය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 10 වැනිදා අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව, අධිකරණයේ නියෝග නොසලකා හරිමින් අධිකරණ භූමියෙන් පිටවීම සම්බන්ධයෙන් වෙනම නොතීසි නිකුත් කර ඇත. සැකකරුට ඇප දෙන අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා විසින් සිදු කළ විශේෂ ආරක්ෂාව සැලසීමේ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණද, සැකකරු අධිකරණ භූමියෙන් බීඑම්ඩබ්ලිව් මෝටර් රථයකින් පිටව ගිය බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ සුරංග සංජීව වීරසූරිය යන අයවලුන් ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුය.


2023 වසරේ දෙසැම්බර් 31 වන දින රාත්‍රියේ වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු මිය යෑමකට ලක් වූ අතර, සැරයන්වරයකු තුවාල ලැබීය. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් මුලදී අපරාධ කල්ලියක් හඳුනා ගැනීමේ වැරදීමක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, ලබන 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව නැවත විභාගයට ගැනෙනු ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ සුරංග සංජීව වීරසූරිය මහතා අනිවාර්යයෙන්ම එදින අධිකරණයට පැමිණිය යුතු බව මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.