Millionaire businessman arrested for carrying a pistol to the airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයේ ඇතුල් වීමේ පර්යන්තය වෙත ස්වයංක්‍රීය පිස්තෝලයක් රැගෙන ගිය 41 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු පෙරේදා (09 වැනිදා) රාත්‍රී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා පොලිසිය වෙත භාරදී ඇත.

වාහන සේල් හිමියකු සහ මහා පරිමාණයේ මැණික් පතල් කැපීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා, තම මිතුරකු ඉතාලිය බලා යාම සඳහා ගුවන් තොටුපොළ වෙත රැගෙන යාමේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය වාර්තා කරයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශන වලදී සැකකරු ගුවන් තොටුපොළ අධි ආරක්ෂිත කලාපයට ගිනි අවියක් රැගෙන යාමට හේතුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා, ගුවන් තොටුපොළේ ඇතුළුවීමේ පර්යන්තය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු සිය ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය ආරක්ෂක නිලධාරීන්ගේ අවධානයට ලක්වී ඇත. සැකකරු එක් අවස්ථාවක පහත් වීමේදී, ඔහුගේ ඉනේ සඟවා තිබූ පිස්තෝලය ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

පසුව පැවැත්වූ වඩාත් සවිස්තරාත්මක පරීක්ෂාවකදී,
සැකකරුගේ ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය මෙන්ම ජීව උණ්ඩ ද සොයාගෙන ඇත. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම ගිනි අවිය බලපත්‍ර සහිත එකක් වුවද, බලපත්‍ර සහිත ගිනි අවියක් වුවත් ගුවන් තොටුපොළේ අධි ආරක්ෂිත කලාපය වෙත රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු දිගටම පවත්වාගෙන යන බව පොලිසිය තවදුරටත් පවසයි.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පුද්ගලයන් රැසක් පොලිසියට කතා කර, මෙම සිද්ධිය සහ සැකකරු පිළිබඳව තොරතුරු විමසා ඇති බවයි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතාගේ නායකත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පවත්වාගෙන යයි.