22 soldiers hospitalized in Kirindiwela bus-lorry collision

නිට්ටඹුව-කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී අද (21) උදෑසන යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අද (21) උදෑසන කාලයේ කිරිඳිවැල පොලිස් වසමේ නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත. නිට්ටඹුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් විසි දෙදෙනකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන්ගෙන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති අතර, බස් රථයේ රියදුරු සහ යුද හමුදා සෙබළෙකු පමණක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. කෙසේ වෙතත්, රෝහලේ රැඳී සිටින දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය සඳහන් කර ඇත.
මේ අතර, අනතුරට හේතු වූ බවට සැක කෙරෙන ලොරි රථයේ රියදුරු කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිඳිවැල පොලිසිය විසින් සිදු කරමින් පවතී.
මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වංගු සහිත මාර්ගවල ධාවනයේදී අවධානයෙන් සිටින ලෙසත්, අධික වේගයෙන් වාහන පැදවීමෙන් වළකින ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Image 1
Image 2

Image 3
Image 4
Image 5

Image 6
Image 7
Image 8

Image 9
Image 10