medical-advice-to-be-careful-of-heatstroke-caused-by-excessive-heat

වත්මන් අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ කුඩා දරුවන් එළිමහනේ අවුරුදු ක්‍රීඩා හා අනෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙන විට ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට සැලැස්විය යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී. වත්මන් කාලගුණික රටාව හේතුවෙන් ළමුන් අතර විජලනය හා ඊට අදාළ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇත.



ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා ඉදිරිපත් කළ අදහස් අනුව, දැනට රට තුළ පවතින අධික උණුසුම නිසා ළමුන් පාසල්වල පැවැත්වෙන අවුරුදු ක්‍රීඩා උත්සවවලදී විශාල වශයෙන් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන අතර එහිදී වැඩි ප්‍රමාණයක දාඩිය දැමීම සිදුවේ. දාඩිය සමඟ ශරීරයෙන් ජලය මෙන්ම ලවණද පිටවීම සිදුවන බැවින් ප්‍රමාණවත් ජල පානය නොකිරීමෙන් විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු අවධාරණය කරයි.

"ඉදිරි දින කිහිපයේ අපේ රටට හිරු මුදුන් වීම නිසා රස්නය වැඩි වීම තියෙනවා. මේ රස්නය නිසා අපේ දරුවෝ පාසල් වලට ගියාට පස්සේ අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. වැඩිදුර දාඩිය දැනීමක් සිදුවනවා.
දාඩිය සමග ජලය සහ ලවන අපේ ශරීරයෙන් පිටතට යනවා. වැඩිදුර දාඩිය දැනීම නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්," යනුවෙන් වෛද්‍ය පෙරේරා මහතා පැහැදිලි කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, "වැඩිපුර වතුර බොන්නේ නැතුව අපි සෙල්ලම් කළොත් විජලනය වෙනවා සේම තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්" බවයි. මෙවැනි අවදානම් තත්ත්ව අවම කර ගැනීම සඳහා ස්වභාවික දියර පානයන් ලබා දීම වැදගත් බව ඔහු අවධාරණය කරයි.

විශේෂයෙන්ම ජීවනි, වියලි කැඳ වර්ග, සුප් වර්ග, දෙහි, දොඩම් වැනි පලතුරු යුෂ වැනි ස්වභාවික ද්‍රාවණ පානය කිරීමෙන් විජලන තත්ත්වය පාලනය කර ගත හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි.

වෛද්‍ය පෙරේරා මහතා විජලනයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, ආහාර අරුචිය, අධික නින්ද හෝ නින්ද නොයාම වැනි ලක්ෂණ ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම රෝග ලක්ෂණ පෙර කී පරිදි ප්‍රමාණවත් ජල පානයෙන් වළක්වාගත හැකි බවද ඔහු අවධාරණය කරයි.

"ඒවා වළක්වාගත හැකි දෙවල්. ඒ නිසා වැඩි පුර වතුර බිලා දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්න," යනුවෙන් වෛද්‍යවරයා දෙමාපියන්ට සහ පාසල් ප්‍රජාවට අවවාද කරයි.

තවද, මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වයක් බහුලව දක්නට ලැබෙන බවට වෛද්‍ය දිපාල් පෙරේරා මහතා අනතුරු අඟවයි.
දින තුනක් හෝ හතරක් අඛණ්ඩව උණ තත්ත්වයක් පවතින ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ඔහු විශේෂයෙන් අවධාරණය කරයි.

සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දෙන්නේ රටේ දැනට පවතින අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් ළමුන් පමණක් නොව වැඩිහිටියන්ද තාප ආඝාත තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි. එබැවින් දිවා කාලයේ හිරු එළියට නිරාවරණය වීම අවම කිරීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම හා හිස වැසීම වැනි පූර්වාරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරති.

පාසල් වලින් ද ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, පාසල් අවුරුදු උත්සව සහ එළිමහන් ක්‍රියාකාරකම් පවත්වන අවස්ථාවලදී ළමුන්ට ඕනෑ තරම් පිරිසිදු පානීය ජලය සපයන ලෙස හා විවේක කාලයන් ලබා දෙන ලෙස දැනුම් දී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධයෙන් සියලු පාසල් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.

මෙම කාලගුණික තත්ත්වය තව දින කිහිපයක් පැවතීමට නියමිත බවත්, එබැවින් ජනතාව, විශේෂයෙන් ළමුන් සඳහා වන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු ඇති වීම වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය අංශ බලධාරීන් අවධාරණය කරති.