
ථෙරවාදී බෞද්ධ රටක් වන මියන්මාරයේ පසුගියදා සිදුවූ සිදුවූ භූමිකම්පා ඛේදවාචකයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව, මල්වතු හා අස්ගිරි මහා විහාරයන් එක්ව රුපියල් ලක්ෂ 150ක (මිලියන 15ක) මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත. මෙම දායකත්වය අද (අප්‍රේල් 2) දින මියන්මාර් තානාපතිනි මර්ලාර් තාන් හ්ටෙයික් මහත්මිය වෙත ප්‍රදානය කෙරිණි.
මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු මෙම මානුෂීය ක්‍රියාව, මියන්මාර ජනතාවගේ යහපත උදෙසා සිදු කෙරෙන ලද්දකි.
ශ්‍රී දළදා මාලිගාවේ උඩමහල් පිරිත් මණ්ඩපය ආශ්‍රිත පරිශ්‍රයේදී පැවති මෙම විශේෂ අවස්ථාවට අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සියක් නමක් පමණ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. මෙහිදී රුපියල් මිලියන 15ක මුදල් චෙක්පත අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ විසින් මියන්මාර් තානාපතිනිය වෙත ප්‍රදානය කරන ලදී.
එදිනම සවස 4.00ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අභියසදී මල්වතු - අස්ගිරි උභය විහාරයන්හි අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු විසි වර්ගික කාරක සභාවන්හි නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් මියන්මාර වැසියන් වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කිරීමක්ද, මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමක්ද සිදු කෙරිණි. මෙම පිරිත් සජ්ඣායනාව පැයක පමණ කාලයක් පුරා පැවැත්විණි.
මල්වතු - අස්ගිරි උභය මහා විහාර නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේලා වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් සහ පූජ්‍ය වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේලා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව රටක් ලෙස මියන්මාර් ජනතාවගේ සහයට සිටිය යුතු බවයි.
ඔවුන් වැඩිදුරටත් සිහිපත් කළේ ශ්‍රී ලංකාවේ උපසම්පදාව නැතිවී ගිය අවස්ථාවක තායිලන්තයෙන් හා මියන්මාරයෙන් උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩම කර ලක්දිව උපසම්පදාව නැවත ස්ථාපිත කළ බවයි. මේ අනුව දෙරට අතර පවතින බුද්ධාගමික සම්බන්ධතාවය ඉතා ප්‍රබල බව පෙනී යයි.
මියන්මාර් තානාපතිනි මර්ලාර් තාන් හ්ටෙයික් මහත්මිය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේ මියන්මාර් ජනතාව ඛේදවාචකයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව ලබාදෙන ශක්තිය ඉතා අගය කරන බවයි.
මීට අමතරව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලබාදීම සඳහා මුදල් එකතු කිරීමේ අරමුණින් අප්‍රේල් 11 වැනි දින දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කිරීමටද තීරණය කර ඇත.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමිපාණන් වහන්සේ මාධ්‍ය හමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු - අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට තවදුරටත් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව 2,700 ඉක්මවා ඇති අතර, තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව වාර්තා වෙයි. මෙම ඛේදවාචකයෙන් පසු මියන්මාරය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටියි.
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ප්‍රබල බෞද්ධ සහෝදරත්වයක් පවතින අතර, අතීතයේදී මෙරට උපසම්පදා පරම්පරාව නැතිවී ගිය අවස්ථාවේ මියන්මාරයෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙරට ශාසනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාර කළහ. ඒ අනුව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව සහ සංඝරත්නය විසින් මියන්මාර ජනතාවට සහන සැලසීමට ඉදිරිපත්වීම ඓතිහාසික හිතවත්කමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.


Comments
Post a Comment
Your comment will be visible after approval