neighbors-uncle-killed-after-dog-came-and-defeated

මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් දෙවලපොල ප්‍රදේශයේ ඊයේ (13) සවස කාලයේදී තියුණු ආයුධයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් වයස අවුරුදු 73ක පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි. මෙම මරණීය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු සැකකරු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.



මිනුවන්ගොඩ පොලිසිය විසින් මේ වන විට සිදු කරමින් පවතින මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා විසින් නඩත්තු කරනු ලැබූ සුනඛයෙකු සැකකරුගේ නිවස අසලට පැමිණ මළ පහ කිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට මූලික හේතුව වී ඇති බවයි.

පොලිස් වාර්තා අනුව, මියගිය පුද්ගලයා දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර, සුනඛයා සම්බන්ධ ගැටලුව දීර්ඝ කාලයක සිට දෙපාර්ශවය අතර ආරවුල් ඇති කිරීමට හේතු වී ඇති බව ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබේ.

අද සවස් කාලයේදී මියගිය පුද්ගලයාගේ සුනඛයා නැවතත් සැකකරුගේ නිවස අසලට පැමිණීමත් සමඟ දෙපාර්ශවය අතර හට ගත් වචන හුවමාරුව උත්සන්න වුණා, අවසානයේදී සැකකරු තියුණු ආයුධයක් භාවිතා කරමින් මියගිය පුද්ගලයාට ප්‍රහාරයක් එල්ල කරලා



යනුවෙන් ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් වහාම රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, රෝහල වෙත ළඟා වන විට ඔහු මියගොස් තිබූ බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලේ රඳවා ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අපේක්ෂා කෙරේ.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ,

මේ දෙපළ අතර මීට පෙරත් සුනඛයා සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. නමුත් මෙතරම් දුරදිග යනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. මේ වගේ වයසක මනුස්සයෙක් මේ විදිහට මිය යාම ගැන අපි කනගාටු වනවා.



මිනුවන්ගොඩ පොලිසිය ප්‍රදේශයේ අමතර පොලිස් සංචාර ක්‍රියාත්මක කරමින්, සැකකරු සොයා ගැනීම සඳහා සියලු උත්සාහයන් දරන බව පොලිස් ප්‍රකාශක  පැවසීය.