
කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක ගින්නෙන් පිලිස්සුනු කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය දැඩි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් මත කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ සොදිසියකදී මෙම මළසිරුර සොයාගෙන ඇත. මියගිය කාන්තාව කැකිරාව මැදවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 40ක පමණ වයසැති විවාහක තිදරු මවක් බව හඳුනාගෙන ඇති අතර, ඇය අනුරාධපුර ප්‍රදේශයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක් ලෙස සේවය කර ඇත.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට, මළසිරුර සොයාගෙන ඇත්තේ මියගිය කාන්තාව පදිංචිව සිටි නිවසේ සිට මීටර් 20ක් පමණ දුරින් පිහිටි ගෙවත්තකි. මේ වන විට සිදුකර ඇති ප්‍රාථමික විමර්ශනවලට අනුව, මෙම කාන්තාවට ඊයේ (17) උදෑසන ගිනි ඇවිලී ඇති බවත්, මෙම මරණය සියදිවි නසාගැනීමක් විය හැකි බවටත් පොලිසිය අනුමාන කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන අතර, අවසන් අධිකරණ වෛද්‍ය වාර්තාව මත මරණයේ සැබෑ හේතුව තහවුරු කෙරෙනු ඇත. අවසන් වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු නිශ්චිත මරණ හේතුව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කිරීමට පොලිසිය මැලිකමක් දක්වයි.
මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වන අතර, මරණයට හේතුව විය හැකි සාධක සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන පවත්වයි.







Comments
Post a Comment
Your comment will be visible after approval