
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) මෑතකදී අනාවරණය වූ තොරතුරු අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීමට 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබූ රුපියල් කෝටි 34කට වැඩි මුදලක් නාස්ති වී ඇත. එමෙන්ම, රුපියල් කෝටි 76කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා නිම කරන ලද ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගයෙන් (Remote Apron and Taxiways) බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිකව සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇති බවද වාර්තා විය.
මුල් සැලසුම අත්හැරීම සහ එහි ප්‍රතිඵල
2007 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව ලක්ෂ 60 සිට ලක්ෂ 120 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර තිබුණි. එහෙත් 2013 වසරේදී එම ධාරිතාව එක්කෝටි පනස් ලක්ෂයක් (මිලියන 150) දක්වා වැඩි කිරීමට නැවත සැලසුම් සකස් කිරීම හේතුවෙන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම (AASL) පළමු සැලසුම සඳහා වැය කර තිබූ රුපියල් කෝටි 34ක වියදම අනාර්ථික වී ඇත.
මෙම සැලසුම් හා උපදේශන සේවා ගැනීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් 2007 වර්ෂයේදී ජපන් හවුල් සමාගමක් තෝරාගනු ලැබ තිබිණ. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් 2 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
ගිවිසුම් සංශෝධන හා අමතර පිරිවැය
සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර, සමාගම සමඟ 2014 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරනු ලැබුවද, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විවිධ අවස්ථාවන්හී සැලසුම් වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් බරපතල මූල්‍ය බලපෑම් ඇති වී තිබේ.
මේ හේතුවෙන් මූලික උපදේශන සේවා ගාස්තුවට අමතරව:
- ඇමෙරිකානු ඩොලර් 178,589ක්
- ජපන් යෙන් මිලියන 1,612.4ක්
- රුපියල් මිලියන 808.6ක්
ගෙවීමට සිදුව තිබූ අතර, ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබූ බවට ද කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සැලසුම් සහ උපදේශන ගාස්තුව ලෙස රුපියල් කෝටි 38ක මුදලක් මෙම උපදේශක සේවා සමාගමට ගෙවා තිබීම මහජන මුදල් අවභාවිතා කිරීමක් බව කෝප් කාරක සභාව අවධාරණය කළේය.
Remote Apron and Taxiways ව්‍යාපෘතියේ අසාර්ථකත්වය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්තව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු සඳහා විශාල මුදලක් වැය කර තිබේ. මෙමගින් ගුවන් තොටුපොළේ ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.
ඒ සඳහා හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වෙත මාස 30ක කාල සීමාවක් සඳහා රුපියල් කෝටි 611කට වැඩි මුදලකට මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණද, එහි වැඩකටයුතු අවසන් වන විට රුපියල් කෝටි 76කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇති බවට කෝප් කාරක සභාවේ අවධානය යොමු විය.
කෙසේ වෙතත්, මෙහෙයුම් හා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය භාවිතා කළ නොහැකි බවට සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරින් පැවසූහ. එය එසේ භාවිතා කළ නොහැකි නම්, හසාමා (HAZAMA) ඉදිකිරීම් සමාගම වැඩ අවසන් යැයි සඳහන් කර බාර දුන් එම ව්‍යාපෘතිය කිසිදු පසුවිපරමකින් තොරව බාර ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි කාරක සභාව ප්‍රශ්න කළේය.
නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම
මෙහිදී අනාවරණය වූයේ සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු කර තිබෙන බවත්, බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිකව සාක්ෂාත් කරගැනීමට මේ ව්‍යාපෘතිය හරහා කළ නොහැකි යැයි නිලධාරින් හට අවබෝධ වී ඇත්තේ ව්‍යාපෘතිය අවසානයේ බවත්ය.
මේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙසට පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.
කාරක සභාවේ සහභාගීත්වය
මෙම කාරක සභා රැස්වීමට පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ:
- - සමන්මලී ගුණසිංහ
- - කෝසල නුවන් ජයවීර (මියයාමට පෙර)
- - ධර්මප්‍රිය විජේසිංහ
- - අසිත නිරෝෂණ එගොඩ විතාන
- - චන්දිම හෙට්ටිආරච්චි
- - නීතිඥ නිලන්ති කොට්ටහච්චි
- - ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග
- - නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
මෙම සොයාගැනීම් මහජන මුදල් නාස්තිය පිළිබඳව ගැඹුරු ප්‍රශ්න මතු කරන අතර, සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතු ක්‍රියාපටිපාටියක අවශ්‍යතාව පෙන්නුම් කරයි. ව්‍යාපෘති කළමනාකරණයේ දුර්වලතා හා මෙවැනි අකාර්යක්ෂම වියදම් වැළැක්වීම සඳහා වඩාත් තීරණාත්මක පියවර ගත යුතු බව මෙම කෝප් සොයාගැනීම් මගින් අවධාරණය කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval