the-biggest-years-of-kiribatha-velikada-prison

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් ඊයේ (14) දින ලංකාවේ විශාලතම කිරිබත සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එහි ප්‍රධාන අංගයක් ලෙස මෙම කිරිබත් සැකසීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධික පිරිසකගේ දායකත්වයෙන් ඊයේ අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක්, පොල් ගෙඩි 705ක් ඒ සඳහා යොදා ගෙන තිබුණා. මෙය සාමාන්‍ය උත්සවයක සකස් කරන කිරිබත් ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල වන අතර, බන්ධනාගාර තුළ සිටින රැඳවුවන්ට අලුත් අවුරුදු සිරිත් විඳීමට ලැබෙන අවස්ථාවක් ලෙස සැලකේ.


මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වී ඇති අතර ඒක් අයකුට හිමිවූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225ක්. මෙම ප්‍රමාණය රැඳවුවන් සියලු දෙනාටම ලබා දීමට බන්ධනාගාර බලධාරීන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

අද අලුත් අවුරුදුදා මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා පිළියෙළ වූ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා පැවැසුවේ 30,000ක් පමණ රැඳවුවන් විශාල පිරිසක් ඒකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයක් බවයි.

අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාර තුළ ඉටු කිරීමද ඒ ඒ බන්ධනාගාරයන් තුළදී ඊයේ සිදු වූ බවත් 16 වැනිදා ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද රැඳවුවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටු කරන බවත් ගාමිණි බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රැඳවුවන්ට ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාවයේ කොටස්කරුවන් ලෙස හැඟීමක් ලබා දීමයි. සිර දඬුවම් ලබා සිටින අයට පවා සිය රටේ සංස්කෘතික උරුමයන් සමරන්නට අවස්ථාව ලබා දීම තුළින් ඔවුන්ගේ මානසික සුබසාධනය වර්ධනය කිරීමටත්, පුනරුත්ථාපන ක්‍රියාවලියට සහාය දැක්වීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

Image 1

Image 2

Image 3