
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ (05) පස්වරුවේ කොළඹදී සුවිශේෂී හමුවක් පැවැත්වූ අතර කරුණු රැසක් සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව බංකොලොත් වූ අවස්ථාවේ තනි රටක් ලෙස වැඩිම ආධාර ලබා දුන් ඉන්දියාවට තම ස්තූතිය පළ කළ විපක්ෂ නායකවරයා, එම සහයෝගය ඉතා අගය කරන බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත්, එක්සත් ජනපදය පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු හේතුවෙන් මෙරට අපනයන කර්මාන්තවලට හා සේවකයන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන, ඉන්දීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා අනෙකුත් නිෂ්පාදන භාණ්ඩවලට වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
මෙම හමුවෙන් පසු ඉන්දීය අගමැතිවරයා සිය X ගිණුමේ ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවීම සතුටකි. ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එතුමාගේ පෞද්ගලික දායකත්වය සහ කැපවීම අගය කළෙමි. අපගේ සුවිශේෂී හවුල්කාරිත්වයට ශ්‍රී ලංකාව තුළ පක්ෂ භේදයකින් තොරව සහයෝගය හිමි වේ," යනුවෙනි.
මෙම හමුව අතරතුර විපක්ෂ නායක සජිත් මෝදි අගමැතිවරයාට ත්‍යාගයක් ලෙස කොටියෙකුගේ ඡායාරූපයක් රාමුකර පිරිනැමුවේය.
ඉන්දියාවේ ජාතික සත්වයා වන්නේ බෙංගාල කොටියාය.සජිත් වනජීවී ඡායාරූපකරණයෙහිද නියැළෙන්නකි. ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට ඉන්දියාවේ අනුග්‍රහයද එක්තරා කාලයක ලැබිණි.
නිරූපිත සත්වයා ගැන සඳහන් කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සජිත් මෙසේ ලියා තිබේ.
විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති අයි-වන් (eye-one) වශයෙන් හදුන්වන ගැහැණු දිවියෙකුගේ (female Sri Lankan Leopard: Panthera pardus kotiya) මෙම විශේෂ ඡායාරූපය, 2025 අප්‍රේල් 5 වන අද දින, ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි.
එක් ඇසක පෙනීම අහිමි වුවද, වනාන්තරයේ අභියෝග ජයගනිමින් සාර්ථකව ජීවත් වන මෙම සුවිශේෂී සත්වයා ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයේ සහ සෞන්දර්යයේ සැබෑ සංකේතයකි.
ඇගේ ආකර්ෂණීය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි. සමහරවිට ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇතිවුන තත්ත්වයකි.
එහෙත් ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි.
කෙසේවුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණ අතර ජීවත්ව සිටිනවාද යන්න සනාථ ගැනීමට නොහැකිව ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval