They are asking us to shut down solar panels and are providing electricity from fuel - National Secretary

 විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද (13) කොටදෙනියාව මැල්ලවගෙදර පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ, සිංහල අවුරුද්ද උදාවීමේදී ආණ්ඩුව විසින් සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය නිසා ව්‍යවසායකයින්ට රුපියල් මිලියන 550ක පාඩුවක් සහ රජයට රුපියල් මිලියන 1100ක හානියක් සිදුවී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ක්‍රියාදාමය නිසා පද්ධතියට අඩු වියදම් විදුලි ඒකක 790,000ක් අහිමි වී ඇති බවයි. සංජීව ධම්මික මහතාගේ ප්‍රකාශයට අනුව,
මෙම තත්ත්වය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඇතිවූ පොහොර ගැටලුව හා සමාන වන අතර, එම ගැටලුව නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වීමට සිදුවූ ආකාරයටම, සෝලා ගැටලුව නිසා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද ඉදිරියේදී තම ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
මාධ්‍ය හමුවේදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් පැවසුවේ, සෝලා ක්‍රියාදාමය නැවැත්වීම නිසා ඉන්ධන මගින් ක්‍රියාත්මක වන බලාගාර යොදාගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් මිලියන 200ක අමතර පාඩුවක් දැරීමට සිදුවී ඇති බවයි.
ඒ අනුව, රුපියල් දහයකට ලබාගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අත්හැර දමා, රුපියල් 50 සිට 100 දක්වා වැඩි මිලකට වෙනත් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
ධම්මික මහතාගේ ගණන් බැලීම් අනුව, සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් සිංහල අවුරුදු තෑග්ග ලෙස රටට සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 2100ක් පමණ වන බව ඔහු අවධාරණය කළේය. මේ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසම, අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා මාධ්‍ය හමුවේදී දුන් අනතුරු ඇඟවීමට අනුව, "පිරිවැය අධිකයි, නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි" යන හේතු දක්වමින් ජුනි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය. "පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා" යනුවෙන් විවේචනාත්මකව අදහස් දැක්විණි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා, මේ යන විදිහට සෝලා නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙනවා" යනුවෙනි. තවද, වත්මන් රජය බලයට පත්වූයේ හොරු අල්ලන බවට පොරොන්දු දී නමුත්, දැන් විදුලි බල මණ්ඩලය හොරුන් බෝ කරන ස්ථානයක් බවට පත්වී ඇති බවට චෝදනා කර ඇත.