A revolver found under a pillow in a house in Polwatta - suspect remanded

හිඹුටාන, පොල්වත්ත ප්‍රදේශයේ නිවසක කොට්ටයක් යටින් සඟවා තිබූ දේශීයව නිෂ්පාදිත ඊවෝල්වරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය. අදාළ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කර තිබේ.


හිඹුටාන, පොල්වත්ත, ගුණසේකර මාවතේ පදිංචි එම්. සමරසිංහගේ සෙනෙවිරත්න නමැති පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරු සතුව තිබූ ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා එම ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස මුල්ලේරියාව පොලිසියේ පොලිස් කොස්තාපල් අලුත්ගෙදර (11848) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත පදනම්ව සිදු කළ සෝදිසියකදී සැකකරුගේ නිවසේ කොට්ටයක් යටින් මෙම ඊවෝල්වරය සොයාගෙන ඇති බවයි.
පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද පොලිසියට වැඩිදුරටත් නියෝග කර ඇත.