
උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව දෙස බලා ඉන්නා දර්ශනීගේ දෙනෙත කඳුළින් පිරෙනු දුටු ප්‍රගා ඇයගේ උරහිස මත සුරත තැබුවේය. ඒ ස්පර්ශයෙන් තමා වෙත හැරුණු දර්ශනීට ඔහු කතා කළේ දෑසිනි.
“අඬන්න එපා. ඔයාට මං ඉන්නවා හැමදාටම. කොහොම මොනව වුණත් මේ ආදරේ වෙනසක් නෑ...” ඒ ගත වූ වසර කිහිපය පුරා ගිණිය නොහැකි තරම් වාරයක් ප්‍රගාගේ මුවින් පිට වූ වදන්ය. දර්ශනීගේ නෙතඟ වූ කඳුළු ඔහුගේ අතැඟිලි අතර සැඟව යද්දී ඕ දෙවියන්ට ස්තුති කළාය.
වසර හයකට පෙර මේ බිමේදීම සිය මව අහිමි වුවද එවැනිම අව්‍යාජ පිරිපුන් ප්‍රේමයක් තමාට හිමි වූ අයුරු ඇය සිහි කළේ සන්සුන් මනසිනි. 2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් දර්ශනීගේ මව ඩබ්ලිව්. වික්ටෝරියා ජීවිතය හැර ගිය අතර, බරපතළ තුවාල ලද දර්ශනී මාස ගණනාවක් ගිලන් ඇඳට සීමා වන්නීය.
“මගෙ අත්, කකුල්, ඇඟ පිච්චිලා; කකුල කැඩිලා. ඇඟ ඇතුළේ තැන් තැන්වල බෝම්බෙ තිබුණු යකඩ බෝල 25ක් විතර තිබුණා. දවස් 14ක් මම රෝහලේ හිටියා. ශාරීරික වේදනාවටත් වඩා මට දරන්න බැරි වුණේ අම්මගේ අහිමි වීම. අවුරුද්දක් විතර රෝද පුටුවට වෙලා ඉන්න කොට මට හිතුණා මට කවදාවත් නැඟිටින්න, ඇවිදින්න බැරි වෙයිද කියලා. ඒත් දෙවියන් වහන්සේ මාව නැඟිටට්වේවා. මට ආපහු ඇවිදින්න ශක්තිය දුන්නා. ඒ වගේම මාව හොඳින් බලාගන්න හොඳ මහත්තයෙකුත් දුන්නා.”
දැන් දර්ශනීගේ දෑස්වල ඇත්තේ තුටු කඳුළුය. ඇයගේ සැමියා ඒ. ප්‍රගලාදන් ඒ අපූරු ආදර කතාව අසන්නටම හිතුණේ එනිසාය.
“අපි දෙන්නා කාලයක් හොඳම යාළුවෝ. දවසක් මම විහිළුවට වගේ දර්ශනීගේ අම්මගෙන් ඇහුවා මෙයාව බඳින්නද කියලා. මම හින්දු නිසා අම්මා කැමැති වුණේ නැහැ. අපි දෙන්නා අතර යාළුකමක් මිස ආදර සම්බන්ධයක් තිබුණේ නැති නිසා ඒ සිද්ධියෙන් පස්සේ මටත් දර්ශනීව මඟහැරුණා. බෝම්බ ප්‍රහාරය වෙලා අවුරුද්දකට විතර පස්සෙ දවසක මම ඉන්ස්ට්‍රගෑම් එකෙන් දර්ශනී දැකලා එයාට මැසේජ් කළා. දර්ශනී මගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවාම මම එයාට වීඩියෝ කෝල් එකක් ගත්තා. දර්ශනී දැක්කම මට පුදුම හිතුණා. කකුල්වලට කම්බි දාලා අඳුනගන්න බැරි තරම් වෙනස් වෙලා හිටියෙ. බෝම්බයක් වැදිලා මෙහෙම වෙලා කියලා මම දන්නෙ නෑ නේ. මම කිවුවා මම ඔයාව බලන්න එන්නම් කියලා. දර්ශනී එයා විඳින කායික, මානසික වේදනාව ගැන නිතර මා එක්ක කතා කළා.
“මම එයාව බලන්න ගියාම එයා කිවුවා මාව බඳින්න ඕනෑ කියලා. විවාහ වෙන අදහසක් මගෙ හිතේ තිබුණෙ නැති වුණත් එයා ඉන්න තත්ත්වේ එක්ක ඒ ඉල්ලීම අහක දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැම දෙනාගේම ආශීර්වාදයෙන් 2023දි අපි විවාහ වුණා. විවාහ වෙන්න අකැමැත්තෙන් හිටිය කෙනෙක් වුණත් මම දැන් මේ ජීවිතේට කැමැතියි. මම පුළුවන් උපරිම හොඳින් දර්ශනී බලාගන්නවා. මේ අනතුර නිසා එයාගෙ කකුලට කම්බි දාලා තියෙන නිසා ගමන් බිමන් යන්න පහසු වෙන්න මම ත්‍රීවීල් එකකුත් ගත්තා. මොන අමාරුකම් තිබුණත් එයාට කොච්චිකඩේ පල්ලි යන්නම ඕනෑ. පල්ලි ගිහින් මියගිය අය වෙනුවෙන් හදලා තියෙන තැනට ගියාම එයාගෙ හිත රිදෙනවා. එයා අම්මා වෙනුවෙන් තාම දුක් වෙනවා කියලා මම දන්නවා. ඒත් මම හැම වෙලාවෙම විහිළු කරලා හිත සැහැල්ලු කරනවා. එයාව සතුටින් තියන්නයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ.”
ප්‍රගාගේ වදන් පසක් කරන්නේ සැබෑ ආදරය ඇත්තේ සියලු ආගම්වලට ඉහළින් බවය. ජීවිතයට උරුම වූ අඳුරු මතකවලින් ගොඩ එන්නට හයිය දුන් ඔහුගේ සෙනෙහස ගැන දර්ශනී මෙසේ කියන්නීය:
“ප්‍රගා ළඟ මම බලාපොරොත්තු වුණු සැබෑ ආදරය තියෙනවා කියලා තේරුම් ගන්න මට කාලයක් ගත වුණත් දෙවියන් මට හොඳම කෙනා දීලා තියෙනවා. විපත තුළින් මගේ ජීවිතයට යහපතක් වුණා කියලා අද මම හිතනවා.”
කාලය හදවතේ තුවාල සහ රිදවුම් සුව කරන හොඳම ඔසුව බව පසක් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6ක් සපිරෙද්දී එහි වින්දිතයන් වූ බොහෝ දෙනකු අද ජීවිතයට මුහුණ දෙන්නේ දිරිමත් සිතිනි.
රොහාන් ප්‍රනාන්දුට සිය ආදරණීය බිරිය අමාලි චතුරිකා අහිමි වන්නේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීය. සිඟිති දරුවන් දෙදෙනකු සමඟ තනි වූ රොහාන් ගත කළේ ඉතා අසීරු ජීවිතයකි. ඒ එදාය. අද රොහාන්ගේත් දරුවන්ගේත් ජීවිත ප්‍රීතියෙන් සහ ප්‍රේමයෙන් පිරී ඇත්තේ ඔවුන්ගේ ජීවිතවලට ආ සුරංගනාවික බඳු මිනිස් දුවක නිසාය. ඇය ප්රියන්තාය.
“ප්‍රියන්තා අපි ළඟට එවන්න ඇත්තේ දෙවියන්. එයා දරුවන්ට දක්වන ආදරය, රැකවරණය මගෙ හිතට ලොකු සැනසීමක්. රැකියාව එක්ක මම ගොඩක් කාර්යබහුලයි. ඒත් එයා දරුවන්ට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැහැ. මොන තරම් ප්‍රශ්න ආවත් ඒ එක්කම ඒකට උත්තරයකුත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා”
රොහාන් කියන්නේ අයපහත අතරින් මතු වූ යහපත ගැනය.
ලින්ටන් රෙක්සිගේ බිරිය පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් කටුවපිටිය දේවස්ථානයේදීම ජීවිතය හැර යද්දී එවකට 8 හැවිරිදි වියේ පසු වූ දියණිය නෙතුදිනී ආකර්ෂා ද බරපතළ තුවාල ලැබුවාය. ඒ සියල්ල සිදු වන විට ධීවරයකු වූ ලින්ටන් සිටියේ මහ මුහුද මැද බහුදින ධීවර යාත්‍රාවක සිය ජීවිකාව කරමිනි.
“මම මුහුදු ගිහින් එද්දි මගෙ බිරියගේ අවසන් කටයුතු සිදු කරලත් ඉවරයි. දුව ඒ වෙද්දිත් දැඩි සත්කාර ඒකකයේ හිටියෙ. එයාගේ බඩට මැහුම් තිහක් දාලා තිබුණා. ජීවිතේ හැම දේම නැති වුණා කියලා මට හිතුණා. නෝනා නැති වෙද්දි ලක්ෂ දෙකක් විතර ණය වෙලා තිබුණා. රත්තරන් බඩු වගේම ඉඩමෙ ඔප්පුවත් උකස් කරලා තිබුණේ. මට හිතාගන්න බැරි වුණා ඒ හැම දේම එක්ක මම දරුවන්වත් බලාගෙන රස්සාවක් කරගෙන ඉන්නෙ කොහොමද කියලා. ඒත් මම කිසිම කෙනෙක්ගෙන් උදවු ඉල්ලගෙන ගියේ නැහැ. ඒත් ගොඩක් අයගෙන් මුදල් ආධාර ලැබුණා. පිටරට ඉන්න අයත් උදවු කළා. මම ඒ සතපහක්වත් නාස්ති කළේ නැහැ. ලැබෙන හැම මුදලක්ම බැංකුවට දාලා මමයි පුතයි කතා කරලා ප්ලෑන් කරලයි සල්ලි වියදම් කළේ. ණය සේරම බේරුවා. රත්තරන් බඩුයි ගෙදර ඔප්පුවයි බේරගත්තා. ඊට පස්සේ මට ඕනෑ වුණේ මගේ නෝනගේ හිතේ තිබුණු විදිහටම ගේ හදාගන්නයි. කතෝලික සභාව සහ උදවු කරපු හැමෝම නිසා මට ඒ දේත් කරගන්න පුළුවන් වුණා. නෝනා නැති වුණ දුක, වේදනාව හැමදාම හිතේ තිබුණත් එයා ගියාට පස්සේ මම ගැඹුරින්ම දෙවියන් අදහන්න පටන් ගත්තා. ඒක තමයි අපේ නැඟිටීමට හේතු වුණේ.”
එදා ඒ බෝම්බ ප්‍රහාරය නිසා ආදරණීය කැදලි රැසක් සුනුවිසුනු විය. කටුවපිටියේ ප්‍රදීප් සුසන්තට බිරිය රසිකා දිල්රුක්ෂි, දියණියන් වන රෂිනි ප්‍රවේශා, ෂලොමි හිමායා සහ පුතු ෂාලොම් සදිශ්ක අහිමි වූයේද ඒ නිසාය. තමන්ගේ මුළු ලෝකයම වූ බිරියත් දරුවන් තිදෙනාත් එක නිමේෂයකින් අහිමි වද්දී සුසන්තට ඔහුගේ ලෝකයම අහිමි විය. ඒ අවාසනාවන්ත සිදු වීමෙන් වසරකට වැඩි කාලයක් යන තුරුම සුසන්ත කල් ගෙවූයේ තමන්ගේ ආදරණීයන් මිහිදන් කළ සුසාන භූමියේය. ඒ හදවත දැවුණු වියෝ ගින්නේ තරම ගැන වෙන කතා කුමටද?
එපමණක් නොව, සුසන්තගේ බිරියගේ වැඩිමහල් සහෝදරයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාද ඒ ප්‍රහාරයෙන් මිය ගියේ එකම පවුලේ සත් දෙනකු මරුවාට බිලි දෙමිනි.
“එකම පවුලේ මරණ හතක්... අපේ ගෙවල් පාර දිගේ එදා පෝලිමට මිනී පෙට්ටි හතක් ආවා. ඒක මොන තරම් සරදමක්ද? ඒ විදිහට ගෙවල්වලට පෝලිමේ මීනි පෙට්ටි එන්න අපි කරපු වරද මොකක්ද? ඒ අතරේ මස්සිනාගේ ගෙදර තුන් දෙනාගේ මිනී පෙට්ටියි අපේ ගෙදර හතර දෙනාගේ මිනී පෙට්ටියි මාරු වෙනවා. ආ ඒක මෙහෙට, ඕක එහාට, අනිත් එක එහා ගෙදරට කිය කියා කට්ටිය කෑගහහා මාරු කරන්න... ඒක මිනිහෙකුට දරාගන්න පුළුවන් වේදනාවක්ද?. ඒත් කතෝලික සභාව මාව අතෑරියෙ නෑ. කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික සභාව අපි හැමෝම රැකබලා ගත්තා. දෙවියන් වහන්සේ මට ආයෙමත් බිරිඳක්, දරුවෙක් දුන්නා. මේ චූටි දුව මගේ නැති වුණු ෂලොමි දුව වගේමයි. සමහරු හිතනවා ඇති දැන් මම ආයෙමත් විවාහ වෙලා තව දරුවෙක් ඉන්න නිසා ඒ වේදනාව මට ගානක් නෑ කියලා. ඒත් මගෙ හිතේ තියෙන වේදනාව මම මැරෙනකම්ම මට වද දෙනවා. ඒත් මේ දරුවා මට ජීවත් වෙන්න අරමුණක් දුන්නා.”
සුසන්ත පැවසුවේ සිඟිත්තියගේ දිදුලන දෑස් දෙස බලමිනි. සුසන්තගේ බිරියගේ සහෝදරයා දුලිප් අප්පුහාමි, දියණිය සජිනි විනුරා දුලක්ෂි සහ පුතු විමුක්ති තරිඳු ද බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය හැර යද්දී ඒ පවුලේ ආදරණීය බිරිය, මව වූ අනූෂාගේ ජීවිතය කණපිට හැරිණි.
“21 වැනිදා පවුලක් විදිහට ගෙදරින් ගිය මම 23 වැනිදා තනියම ගෙදර ආවා. මට දෙවියන් කෙරෙහි විශ්වාසය නැතිව ගියා. ඒත් ටිකින් ටික ආයෙමත් මම දෙවියන් විශ්වාස කරන්න ගත්තා. වටේ හිටපු හැමෝම මැරිලා වැටෙද්දි මම බෝම්බෙන් බේරුණා. බෝම්බෙ යකඩ බෝලයක් වැදිලා මගෙ ඇහැක් එළියට ඇවිත් තිබුණත් මාව සනීප වුණා. අනතුරකින් සහ ස්ට්‍රෝක් එකකින් මාව බේරුණා. දෙපාරක් කැඩුණු මගෙ අත සුව වුණා. වකුගඩු සැත්කමකට මුහුණ දුන්නා. මහත්තයා නැති වුණාට පස්සේ ආව දේපොළ සම්බන්ධ නීති ප්‍රශ්නවලට මූණ දුන්නා. මේ හැම දේටම මුහුණ දෙන්න මනුස්සයෙකුට කොහෙන්ද හයියක්? මම වගේ මහත්තයගෙයි දරුවන්ගෙයි ආදරේ මතම යැපුණු ගෑනියෙකුට කොහොමටවත් එච්චර හයියක් තියෙන්න බෑ. ඒත් කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික සභාව මාව මේ තත්ත්වයට ගෙනාවා. මගෙ මහත්තයයි දරුවො දෙන්නයි ස්වර්ගයේ ලස්සනම තැනක ඉන්න බව මට විශ්වාසයි. ඒ නිසා මම හරිම ශක්තිමත්.”
අළු මතින් උපන් ෆීනික්ස් කිරිල්ලියක සේ අද අනූෂා සිනා සෙන්නීය.
කටුවපිටියේ චන්දිමා නිරංජලී යසවර්ධනටද සිය දෑස බඳු නෙත්මි මංජරී සහ විශ්මි කවීෂා දියණියන් දෙදෙනා සහ සැමියා සම්පත් විශ්වකිර්ති අහිමි විය. බරපතළ තුවාල ලැබූ නිරංජලී අදද ජීවත් වන්නේ ශාරීරික අපහසුතා රැසක් විඳිමිනි.
“මේ සිදුවීම නිසා මම පුදුමාකාර කායික, මානසික වේදනාවක් වින්දා; අදටත් විඳිනවා. ඒත් දෙවියන්ගේ ආදරය අද මට වැඩියෙන් දැනෙනවා. ඒ වගේම මේ සිද්ධිය නිසා මට ආදරේ කරන, උදවු කරන මිනිස්සු ගොඩක් මුණගැස්සුවා. ඒ වගේම මම කොච්චර ශක්තිමත්ද කියලා හඳුනගන්න මටම අවස්ථාවක් දුන්නා.” නිරංජලීගේ එවදන් රිදෙන, බිඳෙන, වැටෙන තැන්වලදී වුවත් අත්නොහැර ජීවිතය අල්ලාගන්නට අප කාටත් දිරි දෙන්නේය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කරමින් සිටි බී.ඒ.ඩී. නිමල් ශාන්තට පනස් වැනි වියේදී ජීවිතය අහිමි වූයේ එම හෝටලයට එල්ල වූ බෝම්බ ප්රහාරයෙනි. ඒ වියෝව ඔහුගේ බිරියගේත්, දියණියන් දෙදෙනාගේත් ජීවිත එක තැනක නතර කිරීමට තරම් දරුණු කම්පනයක් වුවද එය ජීවිතය දෙස නවමු ආකාරයෙන් බලන්නට අවස්ථාවක් සැලසූ බව ඔහුගේ ආදරණීය බිරිය චන්දිමා ජයමාලි පවසන්නීය.
“මහත්තයා නැති වෙලා මාස තුනක් විතර යන තුරු මම දෙවියන් ඇදහුවේ නැහැ. ඒත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව අප තනි කළේ නැහැ. මහත්තයා නැති වුණාට පස්සේ ජීවිතේ අන්තයටම කඩාවැටිලා හිටිය මට අද ඒ අත්දැකීම් තුළින් තවත් ජීවිත ගොඩනඟන්න කතා කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. සැමියාගේ මරණයෙන් මම ජීවිතයට බොහෝ දේවල් ඉගෙනගත්තා. අපි කාටවත් අපි මැරෙන වෙලාව ගැන කියන්න බැරි වුණත් මේ මොහොතෙ ජීවත් වෙලා, කරන්න තියෙන දේවල් ඉටු කරනවා නම් අපිට පසුතැවෙන්න දේවල් ඉතිරි වෙන්නෙ නෑ. ඒ නිසාම මට අද කියන්න පුළුවන් ලෝකෙ හිටිය හොඳම සැමියා හිටියෙ මට කියලා. ඒ නිසා තමන්ගෙ අයට ආදරේ කරන එක, ඒ අය සතුටින් තියන එක හෙටට කල් දාන්න එපා. මොකද, හෙට දවස අපිට උදා නොවෙන්නත් පුළුවන්. මගේ මහත්තයා අවුරුදු 50ක් ජීවත් වෙලා අවුරුදු 100ක ආදරයක් අපට දීලා ගියා. සමහරු අවුරුදු සීයක් ජීවත් වුණත් අවුරුදු 10-12ක මතකයක්වත් ඉතිරි කරලා යන්නෙ නැහැ. ආදරේ කියන්නේ ජීවිතේ ජීවත් කරවන හැඟීමක්. එහෙම ආදරයක් මරණයෙන් කෙළවර වෙන්නෙ නැහැ කියලා අද මම දන්නවා. ඒ වගේම තමයි අපි දෙවියන් අත්හැරියත් දෙවියන් අපිව අතහරින්නෙ නැහැ. අපි වැටුණු වෙලාවක ඇඟිලි තුඩකින් හරි අපිව අල්ලගෙන ඉන්නවා.”
චන්දිමාගේ ඒ ජීවිත දර්ශනය ආදරය ගැනත් ජීවිතය ගැනත් බොහෝ පාඩම් අපට කියා දෙයි.
මෑත කාලයේ ලොව සිදු වූ ම්ලේච්ඡතම ප්‍රහාරයක් සේ සැලකිය හැකි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ බොහෝ දෙනකුගේ ජීවිත කතා මෙබඳු ධනාත්මක අදහස්වලින් පෝෂණය වූ ඒවාය. ඔවුන් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින් සිටින්නේ ව්‍යසනයකදී පවා ජීවිතය අත්නොහැර අල්ලා සිටීමේ ධෛර්යය ගැන සැමට ආදර්ශයක් වෙමිනි. ඔවුන් එසේ ශක්තිමත් වීමට කතෝලික සභාව ඇතුළු පාර්ශ්ව රැසක් දායකත්වය දක්වා ඇත. වින්දිතයන් කායික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් යළි ගොඩනැඟීම සඳහා විශාල දායකත්වක් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ සමාජ සේවා ආයතනය වන සෙත්සරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් ජයතිලක පියතුමා වින්දිත ජනතාවගේ යළි ගොඩනැඟුණු ජීවිත ගැන මෙසේ ආවර්ජනය කළේය:
“වින්දිත ජනතාවගේ දුක, කඳුළ වේදනාව වගේම මේ ව්‍යසනය නිසා ඔවුන්ට අහිමි වූ ආදරණීයයන් සහ ශරීර අවයව ආදි සියල්ල දේශය සුවපත් කිරීමේ සදාතනික සංකේතයි. රුධිරය අයිති කිසිවකුට නොව දෙවියන්ටයි. කඳුළු බවට හැරෙන්නෙත්, මවකගේ කිරිවලට හැරෙන්නේත්, පියකුගේ දහඩිය බවට පෙරළෙන්නේත් රුධිරයමයි. නිදොස් මිනිසුන් හඬවා කිසිවකු ලැබූ ජයග්‍රහණයක් සදාකාලික සතුටක් වන්නේ නැහැ. දෙවියන් වහන්සේ වින්දිතයන්ගේ කඳුළු උන් වහන්සේගේ රුධිරයේ සංකේතයක් බවට පත් කර, මේ දේශයම පිරිසුදු කළ බව මගේ අදහසයි. තේ කොළයේ රස උණුසුමට වැටුණු විට එහි රස කිසිදා වතුරෙන් වෙන් නොවන්නා සේ මේ ජීවිත අත්දැකීම් තවත් ජීවිත ශක්තිමත් කරන්න ඉවහල් වනවා. එය අප කාටත් ආශීර්වාදයක් නොවේද?”
(සුරේකා නිල්මිණි ඉලංකෝන්- සිළුමිණ)



Comments
Post a Comment
Your comment will be visible after approval