Employees arrested for stealing hundreds of thousands of ready-made garments from Avissawella garment factory

අවිස්සාවේල්ල සීතාවකපුර කර්මාන්ත පුරයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමින් යුත් කාන්තා නිමි ඇඳුම් සොරකම් කිරීමේ චෝදනාව යටතේ වැඩ පරීක්ෂකවරයකු ඇතුළු සේවකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අවිස්සාවේල්ල පොලිසිය වාර්තා කරයි.

පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෙවීම් මෙහෙයුමේදී සැකකරුවන් සමඟ රුපියල් තුන් ලක්ෂ හතළිස් පන්දාහක (රු. 345,000) පමණ වටිනාකමකින් යුත් කාන්තා නිමි ඇඳුම් 134ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.


අවිස්සාවේල්ල පොලිසිය ප්‍රකාශ කළ ආකාරයට, පැමිණිලිකාර ආරක්ෂක පරිපාලන නිලධාරියා පසුගිය 5 වැනි දින සවස 3.30ට පමණ රාජකාරි භාරගෙන සිටි අතර, ඇඟලුම් කර්මාන්තශාලාවේ අංක තුන කොටසට ආහාර පාර්සල් කීපයක් යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබේ. ඉන් අනතුරුව ඔහු සේදුම් අංශයට ගොස් මුර කුටිය පරීක්ෂා කර, පසුදින අලුයම 3.00ට පමණ කැපුම් අංශයට ගොස් ඇත.

එම අවස්ථාවේදී කැපුම් අංශයේ ගබඩාව අසල නිමි ඇඳුම් තොගයක් තිබෙනු දුටු ඔහුට සැකයක් ඇති වී තිබේ. මෙම නිමි ඇඳුම් කැපුම් අංශයට පැමිණි ආකාරය පිළිබඳව සැක ඇති වූ ඔහු වහාම ස්ථානයේ ආරක්ෂක හා විමර්ශන භාර නිලධාරියාට ඒ බව දැනුම් දී උපදෙස් ලබාගෙන ඇත.

පැමිණිලිකරු එම ස්ථානයේ තිබූ කැපුම් රෙදි රාක්කයක් තුළ සැඟවී බලා සිටියදී, පැය දෙකකට පමණ පසු, අලුයම 5.00ට පමණ ආයතනයේ සේවකයන් දෙදෙනෙකු පැමිණ ඇත. ඔවුන් එම නිමි ඇඳුම් උර දෙකකට දමා ලොරි රථයකට යැවීම සඳහා ලෝඩින් අංශයේ පරීක්ෂකවරයාට දුරකථනයෙන් සම්බන්ධ වී "බඩු ටික එවනවා. දාගන්න" යැයි කියමින් එම නිමි ඇඳුම් පහළට යැවීමට උත්සාහ කරන අවස්ථාවේදී පැමිණිලිකරු විසින් මෙම දෙදෙනා අල්ලාගෙන ඇත.


ඔහු එම දෙදෙනා සමඟ අදාළ නිමි ඇඳුම් පාර්සල් දෙක පහළට ගෙන විත්, පරීක්ෂකවරයා සහ එයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින්ද අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල, කොළඹගම, ගිරාදුරුකෝට්ටේ, කොටියා කුඹුර, කුලියාපිටිය හා ඉලුක්වෙන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 19 සහ 38 අතර පරාසයක පවතී.


අවිස්සාවේල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකසිරි මහතා ඇතුළු කණ්ඩායමක් දැනට මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.

සොරකම් කරන ලද ඇඳුම් වල සම්පූර්ණ වටිනාකම තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, සැකකරුවන් ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.