
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුවූ රැඳවියෙකු තවත් රැඳවියෙකු විසින් උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුව අද (08) දින රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන කටයුතු සඳහා වටරැක බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයෙකු සහ බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු පත් කර ඇත. දැනට බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මියගිය සැකකරු වන එන්.කේ. ශිවනන්දන් (46) බටලන්දහේන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 ජූනි 09 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මුලින් කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ඇතුළත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග මත බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබිණි.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ 'සී' වාට්ටුවේ රඳවා සිටි ශිවනන්දන් පසුගිය 04 වැනි දින උදෑසන පපුව ප්‍රදේශයේ ඇනුම් තුවාල සහිතව රඳවා සිටි වාට්ටුවේ වැටී සිට ඇත. බන්ධනාගාර නිලධාරීන් ඔහුව කඩිනමින් ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කර ඇත.
බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම ඝාතනය එකම සිරමැදිරියක රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුවන්නට ඇති බවයි.
මියගිය රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'කුඩු සළිඳු'ගේ කල්ලිය සමඟ හිතනොහොඳින් කල් ගත කළ බවද වාර්තා වේ. මෙම කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් මෙම රැඳවියාට පහර දීමක් සිදු කළේ ද යන්න පිළිබඳව සැක මතු වී තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට සම්බන්ධ රැඳවියන් අතර කලක පටන් පැවති මතභේදයක් මෙම සිද්ධියට හේතු වූ බව විශ්වාස කරන බවයි.
මියගිය රැඳවියාගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇන තිබූ තුවාල හඳුනාගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මිනීමැරුම් නඩු ඇතුළු නඩු කීපයක් සඳහා දැනට සිරදඬුවම් විඳින රැඳවියෙකු බව හඳුනාගෙන ඇත.
මියගිය රැඳවියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 05 වැනිදා ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කර ඇති අතර, මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇත.
විමර්ශන කමිටුව විසින් අද දින රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval